ශ්‍රීලනිපයේ නව නිලධාරී මණ්ඩලය පත් කිරීම සැප්තැම්බරයේදී

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ දැනට පත්කර සිටින නව නිලධාරී මණ්ඩලය වෙනුවට නව නිලධාරී මණ්ඩලයක් පත්කරගැනීම සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන පක්‍ෂ සම්මේලනයේදී ආසන බල මණ්ඩල නියෝජිතයින්ගේ ඡන්දයෙන් සිදුකරන බව එම පක්‍ෂයේ උප සභාපති, ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

පක්‍ෂ ආසන බල මණ්ඩල හා කාන්තා, තරුණ ආදී සියලූ බලමණ්ඩල ප‍්‍රතිසංවිධානය කෙරෙනවා. ප‍්‍රතිසංවිධානය කිරීමේ කටයුතු මේ වන විට
බොහෝ දුරට අවසන්ව ඇතැයි කී අමාත්‍යවරයා ඉදිරි දෙසතිය තුළ සියලූ බල මණ්ඩල පිහිටුවා අවසන් කරන බව ද සඳහන් කළේය.

ඉන්පසු ඔක්තෝබර් මාසයට පෙර පක්‍ෂ සම්මේලනය පවත්වන බව කී ඇමතිවරයා පක්‍ෂයේ ශක්තිය පිළිබඳව විරුද්ධ පාක්‍ෂිකයින්ට එදිනට දැනගැනීමට හැකිවන ඇතැයි ද කීවේය.
මෙහිදී නව නිලධාරී මණ්ඩලය සහ මධ්‍යම කාරක සභාවක් ද පත්කරගැනීමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ශ්‍රී.ල.නි.ප උප සභාපති අමාත්‍ය, නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි එම පක්‍ෂ මූලස්ථානයේදී අද (29) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

සම්මේලනය පැවැත්වීම කල්දමන්නේ එය සංවිධානය කිරීමේ ශක්තියක් පක්‍ෂයට නොමැති නිසා බවට එල්ල වන චෝදනා එහි සංවිධාන කමිටු සභාපතිවරයා වශයෙන් තමන් ප‍්‍රතික්‍ෂ්ප කරන බව ද නිමල් සිරිපාල ද සිල්වා මහතා ප‍්‍රකාශ කළේය.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී.ල.නි.ප මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා පැවසුවේ ලබන සැප්තැම්බර් 2 වැනිදාට යෙදී ඇති පක්‍ෂයේ 67 වන සංවත්සරය වෙනුවෙන් ආගමික වැඩසටහන් මාලාවක් සංවිධානය කර ඇති බවයි.

එහි ප‍්‍රධාන ආගමික වැඩසටහන එදින කැලණිය රාජ මහා විහාරස්ථානයේදී පැවැත්වෙන බව ද මහ ලේකම්වරයා කීවේය.

ඊට අමතරව කිතුණු, ඉස්ලාම් සහ හින්දු ආගමික වැඩසටහන් ද පැවැත්වීමට කටයුතු යොදා ඇති බව කී මහ ලේකම්වරයා පක්‍ෂයේ සම්මේලනය සැප්තැම්බර් මාසයේදී අති දැවැන්ත සම්මේලනයක් ලෙස පැවැත්වෙන බව ද කියා සිටියේය.

Previous Post Next Post