තිලංග තරග කිරීම නවත්වනවාද නැද්ද තීන්දුව අද

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා එම ධුරය සඳහා යළි තරග කිරීම වළකාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා අභියාචනාධිකරණයට ගොනුකර ඇති පෙත්සම අද (30) සලකා බැලීමට නියමිතය.

මෙම පෙත්සම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු ලේකම්වරයකු සහ
නිලවරණයේදී සභාපති ධුරය සඳහා තරග කරන අපේක්ෂකයෙකු වන නිශාන්ත රණතුංග මහතා  විසින් ඉදිරිපත් කර තිබේ.

ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා, ක්‍රිකට් නිලවරණ කමිටුවේ සාමාජිකයින් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති තිලංග සුමතිපාල ඇතුළු 27 දෙනෙකු පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

පෙත්සම්කරු සිය පෙත්සමෙන් අධිකරණය හමුවේ කියා සිටින්නේ මැයි 31 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය සඳහා තරග කරන වත්මන් සභාපති තිලංග සුමතිපාලගේ නාමයෝජනාව නීතියට පටහැනි බවය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති තිලංග සුමතිපාල නැවත සභාපති ධූරය සඳහා තරග වැදීම පිණිස යෝජනා වී තිබේ.

ඒ අනුව තිලංග සුමතිපාල අදාළ තනතුර සඳහා තරග කළහොත් ක්‍රීඩා පනතේ ප්‍රතිපාදන උල්ලංඝනය වන බව පෙත්සම්කරු පවසයි.

නිලවරණය පැවැත්වීම පිණිස පත්කරන ලද කමිටුව නීති විරෝධී බව ද පෙත්සම්කරු පවසයි.

මේ හේතුවෙන් අදාළ පෙත්සම විභාග කොට අවසන් තීරණයක් ලබා දෙන තෙක් තිලංග සුමතිපාල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරය සඳහා තරග කිරීම වළකාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන මෙන් පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටී.

කෙසේ නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල ඉහත කී චෝදනා ප්‍රතික්ෂේප කරයි.

ඒ සම්බන්ධයෙන් ඔහු මාධ්‍යට අදහස් දක්වමින් කියාසිටින්නේ "ඕව ඔක්කොම පරණ කතානේ. ඒ ගැන කීප වතාවක් පරීක්ෂණ සිදු කර තිබෙනවා. මේවා මඩ ව්‍යාපාර" යනුවෙනි.



Previous Post Next Post