Email

ආණ්ඩුවෙන් ඉවත් වු 16 මහින්ද සමඟ සාකච්ඡාවකට

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 16 දෙනා ඉරිදා  (20)  හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවී සාකච්ඡාවක් පවත්වන බව හිටපු රාජ්‍ය අමාත්‍ය, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.
         
ඉන් අනතුරුව දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර වැනි
පාර්ලිමේන්තුවේ විපක්‍ෂය නියෝජනය කරන පක්‍ෂ නායකයින් හමුවී සාකච්ඡා කිරීමට ද තම කණ්ඩායම බලාපොරොත්තු වන බව ද ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා  සඳහන් කළේය.

තම කණ්ඩායම පළමුවෙන් මහ නා හිමිවරුන් සහ කාදිනල්තුමා හමුවී සාකච්ඡා කර කටයුතු ආරම්භ කළ බව කී අබේවර්ධන මහතා  ඊයේ  (17) දිනයේදී මෙරට ජ්‍යෙෂ්ඨ වාමාංශික පක්‍ෂ නායකයෙක් වන ඩිව් ගුණසේකර මහතා හමුවූ බව ද කීවේය.

විපක්‍ෂයේ සිටින සියලූ ප‍්‍රගතිශීලී නායකයින් හමුවී සාකච්ඡා  කර ඉදිරි වැඩපිළිවෙල තීරණය කරන බව ද හෙතෙම  සඳහන් කළේය.

එමෙන්ම ‘හෘද සාක්‍ෂියේ නිදහස’ යන තේමාව යටතේ මෙම මස 26 වැනිදා සිට සම්මන්ත‍්‍රණ මාලාවක් ආරම්භ කිරීමට තම කණ්ඩායම තීරණය කර ඇති බව ද අබේවර්ධන මහතා කියා සිටියේය.

 මෙහි පළමුවැන්න මාතරදී පැවැත්වෙන අතර ඉදිරියේදී තම කණ්ඩායමේ 16 දෙනා නියෝජනය කරන දිස්ත‍්‍රික්කයන්හි මෙම සම්මන්ත‍්‍රණ පවත්වන බව කී මන්ත‍්‍රීවරයා රටේ පවතින ආර්ථික තත්ත්වය, එයට හේතුව ආදිය පිළිබඳ  විද්වතුන්ද සම්බන්ධ කරගනිමින් ජනතාවට කරුණු පැහැදිලි කිරීම මෙම සම්මන්ත‍්‍රණවල අරමුණ බව ද පැවසීය.
         
හිටපු රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ පුංචි බොරැල්ලේ පිහිටි නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේදී අද (18)  පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


gossip lanka