බැඳුම්කරේ පාඩුව අයකරගන්න පක්ෂනායකයෝ කතා කරයි !

බැඳුම්කර කොමිෂන් සභා වාර්තාවට අදාළ ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡා කිරීමේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

එහිදී අදාළ නඩු පැවරීම් සහ රජයට සිදුවූ අලාභය නැවත අයකර ගැනීම
සඳහා ගතයුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය කියා සිටී.

ඊට අදාළව මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතින වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී නීතිපතිවරයා, මහබැංකු අධිපතිවරයා මෙන්ම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කර තිබේ.

කොමිසමේ නිර්දේශවලට අනුව එහි ඉදිරි පියවර සඳහා අවශ්‍ය නව නීති සම්පාදනය සහ පවතින අණ පනත්වල සංශෝධනවලට අදාළව කෙටුම්පත් මේ වන විට සකසමින් පවතින බව ද මෙහිදී හෙළිකර ඇත.

අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසන් සභා පනත 1994 සිට මේ දක්වා සංශෝධනය වී නොමැති අතර ඊට අදාළ නීති කෙටුම්පත් සකස් කිරීම මේ වන විට අවසන් අදියරේ පවතින අතර, එය ඉදිරි සති කිහිපය තුළ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට ද එහිදී තීරණය වී තිබේ.

කොමිසන් සභාවේ නිගමනයන් හා නිර්දේශ මත ශ්‍රී ලංකා මහ බැංකුවේ කළයුතු වෙනස්කම්වලට අදාළව ද නව සැලැස්මක් මේ වන විට සකස් කරමින් පවතින බව මහබැංකු අධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළ බවද ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටී.

මහබැංකු බැඳුම්කර වාර්තාවේ පිටු අඩුවීමක් සිදුව ඇති බවට පළව ඇති අදහස් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළ නිලධාරින් එහි පිටු අඩුවීමක් සිදුව නොමැති බවත්, ඊට අදාළව අනු ලිපි ලේඛණ විශාල ප්‍රමාණයක් පවතින බවත්, ඒ අතර අදාළ නඩු කටයුතු ක්‍රියාත්මක වන තුරු රහස්‍ය භාවය ආරක්ෂා කළයුතු ලිපි ලේඛන පවතින බවත්, ඒවායේ රහස්‍ය භාවය සුරැකීමට සිදුව ඇති බවත් සඳහන් කර ඇත.

අදාළ පුද්ගලයන්ට නඩු පැවරීම, රජයට සිදුවූ අලාභය නැවත අයකර ගැනීම සහ කොමිසමේ සියලූ නිර්දේශ අඛණ්ඩව, කාර්යක්ෂමව, ප්‍රමාදයකින් තොරව ක්‍රියාත්මකවීම පිළිබඳව ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් අදාළ අංශ ප්‍රධානින් සතියකට වරක් ප්‍රගති සමාලෝචන රැස්වීමක් පැවැත්වීමට කටයුතු කරනු ලබන බව ද මෙහිදී හෙළිකර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජාතික පක්ෂය, ජාතික හෙළ උරුමය, ඊළාම් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා ලිබරල් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා කම්කරු කොංග්‍රසය, ශ්‍රී ලංකා කොමියුනිට්ස් පක්ෂය ඇතුළු පක්ෂ රැසක් නියෝජනය කරමින් පක්ෂ නායකයින් සහ නියෝජිතයින් මීට එක්වූ බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

Previous Post Next Post