තොලේ විකෘතිය හදන්න ගිහින් බිළිඳෙකු ආබාධිත කළ මහනුවර වැරදුණ සැත්කම

වයස අවුරුදු එක හමාරක් පමණ වන දැරියකට උඩුතොලේ පිහිටි විකෘතිතාවකට කරන ලද සැත්කමකින් පසු එම දැරිය පූර්ණ දුබලතාවට පත්ව ඇති බව පවසමින් සාධාරණ පරීක්ෂණයක් කරන ලෙසද එම දැරියගේ පියා වන තරුක කුෂාන් ප්‍රනාන්දු මහතා මහනුවර රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.

ගලේවෙල - අලුත්වැව පදිංචි කුෂාන් ප්‍රනාන්දුට හා ශ්‍රී මාලි වීරසිංහ යන
දෙපළට දාව දෙවැනි දරුවා ලෙස  2016/07/22දා මෙලොව එළිය දුටු ඕෂධී චමත්කා ප්‍රනාන්දු දැරියගේ උපතේදී උඩු තොලෙහි විකෘතියක් තිබී ඇත. මහනුවර මහ රෝහලේ විශේෂඥ විකලාංග වෛද්‍ය ඒකකයේ උපදෙස් මත ඇයට මාස 6ක් සම්පූර්ණ වීමෙන් පසු එක් සැත්කමක් උඩුතොල ආශ්‍රිතව කර ඇත.

දෙවැනි සැත්කම ඉකුත් සැප්තැම්බර් මස 11දා සිදුකළ බවත් එම සැත්කමෙන් පසු දැරිය දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදුන් බවත් එහිදී දැරියට ප්‍රමාණවත් පරිදි ඔක්සිජන් වායුව නොලැබීම නිසා දැරියගේ ඇස් පෙනීම, කන් ඇසීම නොමැති වීම හා ඇවිදින්නට නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බව දැනගත් බව පවසන දැරියගේ පියා තම දරුවා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් සිටිය බවත් ඉතා සුළු සැත්කමක් බවට වෛද්‍යවරුන් දුන් උපදෙස් හේතුවෙන් එම සැත්කමට කැමැති වූ බවත් කියා සිටියේ හැඬූ­ කඳුළෙනි.

තමා ඉතා දුක් මහන්සියෙන් කුලී වැඩ කරමින් ජීවත් වන බව පවසන දැරියගේ පියා තමාගේ දියණිය සුවපත් කර ගැනීම සඳහා ජනාධිපතිවරයාගේ පිහිට පතන බවද කියා සිටියේය. මේ පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් කරන ලෙස ඉකුත් 10දා ලිඛිත පැමිණිල්ලක් කළ බවද හෙතෙම කියයි.

මේ පිළිබඳව මහනුවර මහ රෝහලේ පරිපාලනයෙන් විමසීමේදී එහි නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු කියා සිටියේ දුරකතනයෙන් තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කරන බවත් රෝහලට පැමිණ අනන්‍යතාව තහවුරු කර තොරතුරු ලබා ගන්නා ලෙසත්ය.

Previous Post Next Post