හම්බන්තොට පොලිසියෙන් කනේ පහර කෑ තරුණයාට අධික ශබ්දය දරන්න බෑ - බන්දුල

හම්බන්තොට පැවැති විරෝධතාවකදී සහකාර පොලිස් අධිකාරිවරයකුගේ කනේ පහරකට ලක්වූ තරුණයා විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කළ යුතු තත්ත්වයේ පසු වන බව තංගල්ල බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් නිර්දේශ කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා  පැවැසීය.

පසුගිය සැප්තැම්බර් 6 වැනිදා මත්තල ගුවන්තොටුපොළ විකිණීමට
එරෙහිව හම්බන්තොට පැවැති උද්ඝෝෂණයකදී මෙම තරුණයා සහකාර පොලිස් අධිකාරිවරයකුගේ කනේ පහරට ලක්විය.

එම විරෝධතාව අතරතුර අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ සුව දුක් විමසීමට ඊයේ (25දා) පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන, සිසිර ජයකොඩි, ගාමිණි ලොකුගේ මහත්වරු තංගල්ල බන්ධනාගාරයට පැමිණ සිටියහ.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමේදී මන්ත්‍රිවරයා වැඩිදුරටත් කියා සිටියේ එම තරුණයා අධික ශබ්ද ශ්‍රවණය කිරීමේ දැඩි අපහසුවකින් පෙළෙන බවයි.

මේ අතර එම විරෝධතාව සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් භාරයේ පසුවන එක් දරු පියකු සිය අත තියුණු ආයුධයකින් කපාගෙන ඇති අතර ඔහු දින කිහිපයක සිට සිය දරුවා බැලීමට අවශ්‍ය බව දිගින් දිගටම පවසා ඇති බවද මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

ඉෂාරා සිල්වා


Previous Post Next Post