ඇමැති මාරුව සිකුරාදා ?

ඇමැති මණ්‌ඩල සංශෝධනය සිකුරාදා (19 දා) පෙරවරුවේ සිදුකිරීමට නියමිතය.

මේ සම්බන්ධව ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයකු ගෙන් කළ විමසුමකදී ඔහු කියා සිටියේ වෙනස්‌කම් සිදුවන ඇමැති තනතුරු සම්බන්ධව තමන්ට කිසිවක්‌ ප්‍රකාශ කළ නොහැකි බවත් ඇමැති මණ්‌ඩල සංශෝධනය 19 වැනිදා සිදුවීමට බොහෝ දුරට ඉඩ තිබෙන බවත්ය.

මෙම ඇමැති මණ්‌ඩල සංශෝධනය මෙම සතිය ආරම්භයේ සිදුකිරීමට නියමිතව තිබුණත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විදේශ සංචාරයක නිරතව සිටි නිසා එය ප්‍රමාද වූ බව ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.
ජනපතිගෙන් අවසන් දැනුම් දීමක් :

මේ අතර ඇමැති මණ්‌ඩල සංශෝධනයට විරෝධය පලකරන එජාප ප්‍රබල ඇමතිවරයකු ඊයේ (16) උදැසන අමාත්‍ය මණ්ඩල රැස්වීමට පෙර තම කාර්යාලයට කැඳවා ඇති ජනාධිපතිවරයා, ආණ්ඩුවේ ඉදිරි පැවැත්ම සඳහා ඔහුගේ අමාත්‍යංශය මාරු කිරීමට සිදුවන බව කාරුණිකව දැනුම්දී තිබේ.

ජනාධිපතිවරයා එම දැනුම්දීම සිදුකර ඇත්තේ අගමැතිවරයා එකඟතාවය මත බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

මාධ්‍යවලින් එල්ලවූ චෝදනා මත තම ඇමතිධුර ඉවත් කළහොත් එය තමාගේ ඉදිරි දේශපාලනයට දැඩිව බලපාන බව ජනාධිපතිවරයා හමුවේ පැහැදිලිකර ඇති අදාළ ඇමතිවරයා, එවැනි තත්වයක් යටතේ ඇමති ධුරය මාරු කළහොත් තමාට තවදුරටත් ආණ්ඩුවේ සිටිනවද නැද්ද යන කාරණය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදුවන බව දැඩි කනස්සල්ලෙන් යුතුව පවසා ඇත.

කෙසේවුවද දැනට අමාත්‍ය කබීර් හෂීම් මහතා දරන අමාත්‍යංශයට වරාය විෂයද එක්කර නව අමාත්‍යංශයක්  ලබාදෙන්නේ නම් එය බාර ගැනීමට සුදානම් බව එම ඇමතිවරයා අවසානයේ පවසා ඇතැයි ද ඉහත  ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.
Previous Post Next Post