ගෝඨාභයත් මෝදි හමුවෙලා

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක යෙදී සිටි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සහ  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර පෙරේදා රාත්‍රී පැවැති සුහද සාකච්ඡාවට ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ද සහභාගී වූ බව මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකයේ උදිත ලොකුබණ්ඩාර මහතා පැවැසීය.

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස්වරයාගේ නිල නිවසේ පෙරේදා රාත්‍රි 10.00 ට ආරම්භ වූ එම සාකච්ඡාව සඳහා හිටපු විදේශ අමාත්‍ය ජි.එල්. පිරිස් මහතා ද එක්ව සිටි බව ඔහු සඳහන් කළේය.
පැයක පමණ කාලයක් තිස්සේ පැවැති මේ සාකච්ඡාව හුදෙක් සුහද සාකච්ඡාවක්ම වූ බවත් කිසිදු සුවිශේෂී කරුණක් මුල්කර සාකච්ඡා නොවූ බවත් ලොකු බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවැසීය.

 න්‍යාය පත්‍රයට නැහැ :

ජාත්‍යන්තර වෙසක් උත්සවයට සහභාගිවීම පිණිස ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරතව සිටි ඉන්දීය අගමැතිවරයා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසී තිබෙන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග ජනපති මැදුරේදී රාත්‍රි භෝජන සංග්‍රහයකටද එක්වීමෙන් අනතුරුවය.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සමග හමුවක් ඉන්දීය අගමැතිවරයාගේ සංචාරයේ න්‍යාය පත්‍රයට ඇතුළත්ව නොතිබිණි.

ඉන්දීය අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවේ දී, හිටපු ජනාධිපතිවරයා සමග හමුවේදී සාකච්ඡා වූ කරුණු පිළිබඳව මාධ්‍යවේදිනියක් කළ විමසීමකට පිළිතුරු දුන් ඉන්දීය මහ කොමසාරිස් තරන්ජිත් සිං සන්ධු මහතා, දෙදෙනා අතර ඉතා සුහද සාකච්ඡාවක් පැවති බව සඳහන් කළේය.

"ගතව ගිය වසරවල සහ වර්තමානයේත් ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දුන් සහ ලබාදෙමින් තිබෙන සහයෝගය පිළිබඳව සතුටුවන බව හිටපු ජනාධිපතිතුමා සඳහන් කළා," ඔහු පැවසීය.

එම ප්‍රවෘත්ති සාකච්ඡාව මෙහෙයවනු ලැබුවේ ඉන්දීය විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක ගෝපාල් බාග්ලේ මහතා විසිනි.
Previous Post Next Post