දිනේෂ්ට අල්ලස් චෝදනාවක් CID විමර්ශන ඇරඹේ

අනවසර මහල් නිවාස හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වළක්වාලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන අල්ලස් ලබාගෙන ඇති බවට ලැබී ඇති පැමිණිලි කිහිපයක් මත රහස් පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

අප වෙත වාර්තා වී ඇති ආකාරයට  දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාට එරෙහිව ලැබී ඇති පැමිණිලිවල සඳහන් වන්නේ මන්ත්‍රීවරයා  නාගරික සංවර්ධන හා පූජා භූමි සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ දී  හඳුන්වා දුන් පනත් සංශෝධනයක් උපයෝගී කරගනිමින් මෙම අල්ලස් ලබා ගැනීම සිදුකර ඇති බවය.
එම පනත් සංශෝධනයට අනුව මහල් නිවාසයක අනවසරයෙන් ඉදිකළ තට්ටු කඩා ඉවත් කිරීම වෙනුවට දඩ මුදලක් ගෙවීම හරහා අදාළ අමතර තට්ටු නීත්‍යනුකූල කර ගැනීමට අවස්ථාව හිමි වන අතර එම දඩ මුදල් තක්සේරු කරන්නේ නාගරික සංවර්ධන අධිකාරිය යටතේ වන විශේෂ කමිටුවක් හරහාය.


වැල්ලවත්තේ සිද්ධිය :
එහි දී එක් අවස්ථාවක වැල්ලවත්ත ප්‍රදේශයේ ඉදිකළ අනවසර මහල් නිවාසයක් වෙනුවෙන් රුපියල් මිලියන 22 ක දඩයක් නියම වී ඇති අතර අමාත්‍යවරයා විසින් එම දඩය රුපියල් මිලියන 7ක් දක්වා අඩු කිරීමට පියවර ගන්නා ලෙස  ලිඛිත දැනුම්දීමක් සිදුකර ඇත.

මේ අයුරින් දඩ මුදල අඩු කිරීම හේතුවෙන් එවකට නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ ප්‍රසන්න සිල්වා මහතාව අල්ලස් චෝදනා මත අත්අඩංගුවට  ද ගෙන රිමාන්ඞ්භාරයට ද පත් කර තිබිණි.

කෙසේ වුවත් මෙම පරීක්ෂණ කටයුතුවල දී අධ්‍යක්ෂ ජනරාල්වරයා දඩ මුදල් අඩු කිරීම වෙනුවෙන් අමාත්‍යවරයා සිදු කළ ලිඛිත දැනුම් දීම ඉදිරිපත් කිරීමට අසමත්ව ඇති අතර ඒ එම ලිපිය අදාළ ලිපිගොනුව තුළින් අතුරුදන් වී ඇති නිසාය.


අජිත් ගාල්ලගේ :
තව ද නාගරික සංවර්ධන අධිකාරිය ගෝඨාභය රාජපක්ෂ මහතා යටතට පත් කිරීමෙන් අනතුරුව කොළඹ නගරයේ ඇති අනවසර මහල් නිවාස සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර ඇති අතර එහි දී අජිත් ගාල්ලගේ නම් ව්‍යාපාරිකයාගේ මැදිහත් වීමෙන් දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා අනවසර මහල් හිමියන් ගණනාවකගේ දඩ මුදල් අඩු කිරීමට මැදිහත් වී ඇති බව හෙළි වී ඇති අතර ඒ බව සඳහන් වෙනම ලිපිගොනුවක් ඒ සමයේ දී  ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර ඇත.

එහි දී මෙම දඩ මුදල් අඩු කිරීමේ කටයුතුවලට ඒ සමයේ දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයාගේ නාගරික සංවර්ධන අධිකාරියේ බස්නාහිර පළාත් අධ්‍යක්ෂ ප්‍රසන්න විජේතුංග ද මැදිහත්ව ඇති බව හෙළි වී තිබේ.

කෙසේ වුවත් මේ වන විට එම ලිපිගොනු අතුරුදන්ව ඇතත් නාගරික සංවර්ධන අධිකාරිය සතු තොරතුරු සහ පාර්ශ්ව කිහිපයක් සිදු කළ පැමිණිලි සැලකිල්ලට ගෙන රහස් පොලීසිය මේ වන විට කොළඹ අනවසර මහල් නිවාස හිමියන් කිහිපදෙනකුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බව ද අප වෙත වාර්තා වෙයි.

රහස් පොලිසිය මිට ඉහතදී ද දිනේෂ් ගුණවර්ධන මහතා ගෙන් මිට අදාලව කට උත්තරයක් ගෙන තිබේ.


අගමැතිගේ රැකවරණ :

කෙසේවුවද,  දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා මලික් සමරවික්‍රම අමාත්‍යවරයා හා අග්‍රාමාත්‍යවරයා සමඟ ඇති පාසල් මිතුරුදම යොදා ගනිමින් මෙම පරීක්ෂණ කටයුතු වළක්වාලීමේ උත්සාහයක නිරතව සිටින බව ද දැනගන්නට ඇත.

එසේම මේ වන විට ඒකාබද්ධ විපක්ෂය අග්‍රාමාත්‍යවරයා ඉලක්ක කර බරපතළ විවේචනයක් එල්ල කරමින් ඇති නමුත් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍යවරයාට එරෙහිව කිසිදු විවේචනයක් සිදු නොකිරීම සම්බන්ධව ඒකාබද්ධ විපක්ෂයේ ද අභ්‍යන්තර සාකච්ඡාවක් ඇතිව තිබේ.

මේ වන විට ඒ බව ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් හාස්‍යයට මෙන් මන්ත්‍රීවරයාගෙන් විමසන්නට ගෙන ඇති බව ද අප වෙත වාර්තා වී ඇත.

(සංජය ලියනගේ)
Previous Post Next Post