හොංකොංහි ශ්‍රී ලාංකික සරණාගතයින්ට බියක් ?

ඇමෙරිකාවේ මහා පරිමාණ බුද්ධි අංශ මෙහෙයුම් ලෝකයට හෙළි කළ හිටපු ඔත්තු සේවා නිළධාරී එඩ්වඩ් ස්නොව්ඩන්ට හොංකොං හිදී නවාතැන් පහසුකම් ලබා දීම මුලික කර ගෙන තමන් පසුපස බුද්ධි අංශ ලුහුබඳින බව හොංකොංහි ශ්‍රී ලාංකේය සරණාගතයින් දෙදෙනෙකු බියෙන් පසු වන බව බී.බී.සී. පුවත් සේවය පවසයි.

එම පිරිසේ නිතීඥවරු පුවත් සේවයට පවසා ඇත්තේ ශ්‍රී ලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හොංකොං වෙත පැමිණ මොවුන් පිළිබඳ සොය ඇති බවට විශ්වාස කරන බවයි.
කෙසේ වෙතත් මෙම හෙළිදරව්ව ශ්‍රී ලංකා පොලීසිය විසින් තරයේ ප්‍රතික්ෂේප කරන බව ද එම පුවත් සේවයේ දැක්වෙයි.

චීනයේ හෝ වෙනත් රටක නීති බලාත්මක කිරීමේ නිලධාරීන්ට හොංකොං රාජ්‍ය තුළ අධිකරණ බලයක් නොමැති බවද සඳහන් වෙයි.

මෙම ශ්‍රී ලාංකීකයන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රොබට් ටිබ්බෝ පවසා සිටින්නේ ශ්‍රී ලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකුවත් පසුගිය දෙසැම්බරයේ දී සිය සේවාදායකයන් දෙදෙනා සම්බන්ධයෙන් සොයා බැලීමට හොංකොං වෙත පැමිණ ඇති බවට විශ්වාස කරන බවයි.

බී.බී.සී සිංහල සේවය පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රියන්ත ජයකොඩි මහතාගෙන් කළ විමසීමක දී මෙම ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් ලෙස හෙතෙම බැහැර කර ඇති බව ද එම පුවත් සේවයේ දැක්වෙයි.

කෙසේ වෙතත් ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක ඒජන්සිය සතු දත්ත සහිත ලිපිගොනු දහස් ගණනක් හෙළි කරමින් 2013 ජුනි මාසයේ දී ස්නොව්ඩන් ඇමෙරිකාවෙන් පැන ගොස් හොංකොං වෙත පැමිණීමත් සමඟ සති දෙකක කාලයක් සිය ශ්‍රී ලාංකීක සේවාදායකයන් දෙදෙනා ස්නොව්ඩන්ට සති දෙකක කාලයක් ආහාර හා නවාතැන් පහසුකම් ලබා දී ඇති බව නීතිඥ ටිබ්බෝ පවසයි.

ඉන් අනතුරුව මෙම පුද්ගලයා හොංකොං සිට මොස්කව් වෙත සංක්‍රමණවය වී තිබේ.

කේ.සුපුන් තිලිණ හා ඩී.අජිත් පුෂ්ප කුමාර ලෙස සඳහන් මෙම ශ්‍රී ලාංකීකයන් දෙදෙනාගේ නම් ස්නොව්ඩන් නමින් නිර්මාණය වු නවතම චිත්‍රපටයක් සමඟ පසුගිය වසරේ දී ලොවට හෙළි වු බවත් ඒ සමඟම ශ්‍රී ලංකා රජය මෙම සරණාගතයින් සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා ඇති බව තමා විශ්වාස කරන බවත් නීතිඥ ටිබ්බෝ විසින් බී.බී.සී පුවත් සේවය වෙත පවසා ඇත.

මෙම පත්ව තිබෙන තත්ත්වය හමුවේ තම ආරක්ෂාව සම්බන්ධයෙන් කණස්සල්ලෙන් පසුවන බව ශ්‍රී ලාංකීකයන් දෙදෙනා පැවසූ බව ද වැඩි දුරටත් පුවත් සේවය වාර්තා කරයි.
Previous Post Next Post