තමන්ට එරෙහි විශ්වාභංගය විවාද නොකරන්න රැස්වීම කතානායකම මෙහෙයවලා..

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එල්ල වී ඇති බරපතළ චෝදනා මුල් කරගනිමින් විපක්ෂය විසින් ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම ප්‍රතික්ෂේප කිරීම මෙරට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන ලද මරු පහරක් බව සමගි ජන බලවේගය ඇතුළු ඒකාබද්ධ විපක්ෂය අවධාරණය කරයි.

විපක්ෂ නායක කාර්යාලය මඟින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ, තමන්ට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව විවාදයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමේ තීරණය ගනු ලැබූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේ මුලසුන කථානායකවරයා විසින්ම දැරීම බරපතළ විෂමාචාරයක් සහ සදාචාර විරෝධී පියවරක් බවයි.

අදාළ විශ්වාසභංග යෝජනාව අධිකරණ ක්‍රියාදාමයකට යටත් කරුණක් බැවින් එය විවාදයට ගත නොහැකි බවට ආණ්ඩුව නගන තර්කය පදනම් විරහිත බව පෙන්වා දෙන විපක්ෂය, නීති විශාරදයන්ගේ මතය අනුවද එහි සඳහන් කරුණු කිසිවක් අධිකරණයට අපහාස වන හෝ අධිකරණ බලයට අතපෙවීමක් සිදු වන ඒවා නොවන බව සඳහන් කරයි. 

මෙම චෝදනාවලට මූලික වී ඇත්තේ කථානායකවරයාගේ පෞද්ගලික ලේකම්වරයා යොමු කළ ලිපියක් අනුව සකස් කළ 'කථානායකවරයා පිළිබඳ රහස්‍ය තොරතුරු මාධ්‍යයට හෙළිදරව් වීම පිළිබඳ විමර්ශන වාර්තාව' බවත්, එය නිල පාර්ලිමේන්තු ලේඛනයක් බවත් විපක්ෂය පෙන්වා දෙයි.

තවද, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් කථානායකවරයාට එරෙහිව විමර්ශනයක් පවත්වන මෙවන් පසුබිමක, ඔහු සිය ධුරයේ කටයුතු කිරීම නුසුදුසු බවත්, අවම වශයෙන් විමර්ශන අවසන් වන තෙක් හෝ ධුරයෙන් ඉවත් විය යුතු බවත් විපක්ෂය අවධාරණය කරයි. එවැනි සදාචාරාත්මක පසුබිමක් නොමැති තත්ත්වයකදී ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම ව්‍යවස්ථානුකූල පියවරක් බවද එහි සඳහන් වේ.

එම ඔක්තෝබර් 23 වැනිදා පැවති රැස්වීමේදී නීතිපති මතය විමසීම අවශ්‍ය නොවන බවට කථානායකවරයා සහ ආණ්ඩුව ස්ථාවරයකට පැමිණි බවත්, විපක්ෂය විසින් චෝදනා සංශෝධනය කර භාර දෙන්නේ නම් පමණක් සලකා බැලිය හැකි බව ප්‍රකාශ කළ බවත් විපක්ෂය චෝදනා කරයි. චෝදනාවට ලක්වූ පුද්ගලයා විසින්ම තමන්ගේ චෝදනා විභාග කිරීම වැළැක්වීම සඳහා රැස්වීම මෙහෙයවීම යුක්තියේ මූලධර්ම මුළුමනින්ම උල්ලංඝනය කිරීමක් බව විපක්ෂයේ මතයයි.

කථානායකවරයාට එරෙහි බරපතළ චෝදනා යටපත් කිරීමට ආණ්ඩුව ගෙන යන කිසිදු කුමන්ත්‍රණයකට හසු නොවන බවත්, ආණ්ඩුවේ උවමනාවට චෝදනා සංශෝධනය කිරීමට හෝ ඉවත් කර ගැනීමට කිසිසේත් සූදානම් නොමැති බවත් විපක්ෂය තරයේ කියා සිටියි.

රට තුළ ශිෂ්ටසම්පන්න සහ විනිවිදභාවයෙන් යුත් ආණ්ඩුකරණයක් පවතින්නේ නම්, කථානායකවරයා කළ යුත්තේ වහාම ධුරයෙන් ඉල්ලා අස්වීම හෝ තමන්ට එල්ල වී ඇති චෝදනා හමුවේ නොසැලී විවාදයට මුහුණ දීම බව පෙන්වා දෙන විපක්ෂය, ආණ්ඩුවේ මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාකලාපය පිළිබඳව රටේ සමස්ත ජනතාවගේ දැඩි අවධානය යොමු විය යුතු බවද සිය නිවේදනය මඟින් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.
gossip lanka