Email

පවුල් ආරවුල දුරදිග යෑම නිසා දරු සිඟිත්තාත් මවගෙන් උදුරාගෙන වැවේ ගිලී මැරෙන්න ගිය පියාට අවසානයේ සිදුවූ දේ!

පවුලේ ආරවුලක් දුරදිග යෑමෙන් කෝපයට පත්ව තම නවමස් බිලිදා මවගෙන් උදුරාගෙන දිවගොස් උල්හිටිය මහවැලි මහ ජලාශයේ ගිලෙමින් දිවි හානිකර ගැනීමට තැත් කරමින් සිටි පුද්ගලයකු දරුවාද සමඟ ජලාශයෙන් ඉවත ගෙන්වාගෙන සිදුවන්නට ගිය විපතක් මඟහරවා ගැනීමට ගිරාඳුරුකෝට්ටේ පොලිස් ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීහු සමත් වුණා.

සිද්ධියට අදාළ පුද්ගලයා 31 වියැති දෙදරු පියෙක්. ඉකුත් 27දා ඔහු තම බිරිය සමඟ නිවෙසේදී සිදුකරගත් ආරවුලක් දුරදිග යෑමෙන් පීඩනයට පත්වූ ඔහුගේ 27 වියැති බිරිය දරු දෙදෙනාද සමඟ නුදුරු ගම්මානයක පිහිටි තම මවගේ නිවෙස වෙත පැමිණියා. ඉන් එක්දරුවෙක් අවුරුදු හතක් වයස් වන අතර දෙවැන්නා නවමස් වියැති සිඟිත්තෙක්.

ඊට පසුදින අදාළ පුද්ගලයා සිය බිරිය හා දරුවන් සොයා ඇයගේ මවගේ නිවෙස වෙත පැමිණ නැවත තම නිවෙසට ඔවුන්ව කැඳවාගෙන යෑමට උත්සාහ කර ඇතත් ඇය ඊට එකඟ නොවීම නිසා කෝපයට පත් ඔහු කුඩා සිඟිත්තා මවගෙන් උදුරාගෙන නිවෙසින් පිටත් වී ඇත්තේ තම නිවෙසට යෑමට නොඑන්නේ නම් වැවට පැන දරුවාද සමඟ දිවි හානි කරගන්නා බවටද අනතුරු හඟවමිනුයි.

මෙසේ පැමිණ පුද්ගලයා එම නිවෙසට ආසන්නයේ පිහිටි උල්හිටිය මහවැලි ජලාශය වෙත පැමිණ එම ස්ථානයට රොක්වී සිටි අසල්වැසියන්ගේද ඉල්ලීම් නොසලකා දරුවාද කරපින්නාගෙන වැවට බැස තිබෙනවා. මෙම සිද්ධිය පිළිබඳව තොරතුරු ලැබුණු සැණින්ම ක්‍රියාත්මක වූ පොලිස් ස්ථානාධිපතති චතුරංග තම කාර්ය මණ්ඩලය් කිහිපදෙනකුද සමඟ ඉක්මනින්ම එම ස්ථානයට පැමිණ ඇති අතර ඒ වන විටත් අදාළ පුද්ගලයා දරුවාද කර පින්නාගෙන කරවටක් ජල මට්ටමට ජලාශය තුළට ගොස් තිබෙනවා.

වහාම එම ස්ථානයට ඔරු කිහිපයක්ද ගෙන්වාගෙන ඊට අවශ්‍ය වටාපිටාවද සැලසුම් සහගතව සූදානම් කොට ඔහු සමඟ ඉතා සුහදව හා මිත්‍රශීලීව කතාබස් කරමින් හා උපක්‍රමශීලීව ඔහුගේ බිරියත් එම ස්ථානයට ගෙන්වාගෙන ඇය ලවාම තම නිවෙසට යෑමට කැමැත්ත ප්‍රකාශ කරවා ගැනීමෙන් පසුව ඔහුව වැවෙන් ගොඩට ගෙන්වා ගැනීමට සමත්වී තිබෙනවා.
gossip lanka