Email

(Update) : මීගමුව රෝහලේදී මියගිය රැඳවියාගේ පී.සී.ආර්. වාර්තාව නිකුත් වෙයි

මීගමුව මහ රෝහලේ 8 වන මහලේ පිහිටි කොරෝනා බවට සැකසහිත රෝගීන් සඳහා වෙන් කර ඇති වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිට, එම මහලෙන් ඇද වැටී මිය ගිය මීගමුව බන්ධනාගාරයේ රැඳවියාගේ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාව නිකුත් වී තිබේ. ඒ අනුව, ආදාළ රැඳවියා කොවිඩ්-19 ආසාදිතයෙකු නොවන බව පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාවෙන් තහවුරු වී ඇතැයි එම රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය. 


මෙලෙස මිය ගොස් ඇත්තේ, මීගමුව බන්ධනාගාරයේ රැඳවියෙකි.

ඔහු මත්ද්‍රව්‍ය සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුවෙකු බව බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා පැවසුවේය.

අදාළ රැඳවියා පසුගිය 12 වන දා කොරෝනා රෝග ලක්ෂණ හේතුවෙන් සැකපිට, මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබිණි.

ඔහු මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වූවෙකු හෙයින් ඇතුළත් කර සිට වාට්ටුවේ ඇඳෙහි මාංචු දමා රඳවා සිට ඇත.

කෙසේ වෙතත්, ඊයේ රාත්‍රියේ ඔහු ඇඳ මත නොමැති බවට සැලවී සිදු කළ සෝදිසියකදී අදාළ රැඳවියා එම රෝහලේ 8 වන මහලෙන් බිමට ඇද වැටී මරණයට පත්ව සිටියදී හමුවී තිබේ.

අදාළ රැඳවියා ඇතුළත් කර සිට ඇත්තේ කොවිඩ් 19 බවට සැකසහිත රෝගීන් සඳහා වෙන් කර ඇති වාට්ටුවේ HDU (High Dependency Unit) ඒකකයේය.

එම වාට්ටුවෙන් පිටත, බන්ධානාගාර නිලධාරීන් ආරක්ෂාව සඳහා යොදවා සිට ඇත. ඔවුන්ගෙන් බේරී පළා යාම සඳහා, අදාළ රැඳවියා එම ඒකකයේ ජනේලයෙන් මෙලෙස පැන යන්නට තැත් කර ඇති බවට සැක කරන බව රෝහල් ප්‍රකාශකයා පැවසීය.

අදාළ මරණය මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම නිසා සිදු කර ගත් සිය දිවි නසා ගැනීමක් ද, නැතහොත් පළා යාමට තැත් කිරීමේදී මෙලෙස එම වාට්ටුව පිහිටි 8වන මහලින් බිමට ඇද වැටී සිදු වූ මරණයක් ද බවට සැක පහළ වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව රෝහල් ප්‍රකාශකයා වැඩි දුරටත් පැවසීය.

මිය ගිය තැනැත්තාගේ දේහය, මෘත ශරීර බහාලුමක දමා වෙන් කර ඇති අතර දේහය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතය.
gossip lanka