'අප්‍රේල් අග වනවිට මෙරට කොරෝනා රෝගීන්ගේ වැඩිවීමක් - ඉදිරි සති දෙකේදි අවදානම් හතරවෙනි මට්ටමට' - වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇඟවීම්

අපේ‍්‍රල් අවසන් සතිය දක්වා මෙරටින් වාර්තා වන කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව ක‍්‍රමිකව වැඩිවීමක් අපේක්‍ෂා කරන බව වෛද්‍යවරු පවසනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ සිදුකර ඇති ප‍්‍රක්‍ෂේපනයන් අනුව ශී‍්‍ර ලංකාව තුළ උපරිම රෝගී සංඛ්‍යාවක් වර්ධනයවීම පළමු රෝගියා හමුවී දින 48 ක කාලයක් දක්වා විය හැකි බවයි.


ශ්‍රී ලංකාව තුළ පවතින කොරෝනා රෝගී තත්ත්වය ජුනි මාසය දක්වා දීර්ඝ විය හැකි යැයි වසංගත රෝග විද්‍යා ඒකකය ප‍්‍රකාශ කරන බවද වෛද්‍ය ප‍්‍රසාද් කොළඹගේ නෙත් නිවුස් වෙත කියාසිටියා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජිකයෙකුද වන වෛද්‍ය ප‍්‍රසාද් කොළඹගේ සදහන් කළේ හදුනා ගෙන ඇති රෝගීන් සමග සබදතා පැවැත්වූ 42,000 කට ආසන්න පිරිසක් මේ වනවිට දිවයින පුරා හදුනා ගෙන ඇති බවයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ ප‍්‍රකාශයන්ට අනුව මෙරට සෞඛ්‍ය පද්ධතියට දරාගත හැකි උපරිම රෝගීන් ගණන 2,000 කට ආසන්නයි. එබැවින් මේ මොහොතේ උග‍්‍ර ප‍්‍රතිචාර නොදැක්වුවහොත් උපරිම සීමාවේදී රෝගීන් 2,500 ක් පමණ වාර්තාවීමට ඉඩකඩ පවතිනවා.

එවැනි අවස්ථාවකදී සෞඛ්‍ය පද්ධතිය කඩාවැටීමකට ඇති ඉඩකඩ බැහැර කළ නොහැකි බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ.

ශී‍්‍ර ලංකාව වත්මන් රෝග ව්‍යාප්තිය 3 ඒ මට්ටම, එනම් නිවාස ආශි‍්‍රත කුඩා රෝගීන් පොකුරු සිටින තත්ත්වයේ පවතිනවා. කෙසේවෙතත් පවතින දත්ත විශ්ලේෂණය කිරීමේදී රෝග ව්‍යාප්තිියේ ඊළග මට්ටම වන 3 බී, එනම් ගම තුළ රෝගීන් පොකුරු වාර්තාවීම දක්වා ක‍්‍රමයෙන් ළගාවෙමින් ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කළේ.

නිසි පියවර නොගතහොත් ඉදිරි සති දෙකෙන් ඔබ්බට රේග ව්‍යාප්තියේ අවසන් මට්ටම වන 4, එනම් සමාජය තුළ රෝග ව්‍යාප්තිය දක්වා යා හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙනවා. එබැවින් ජනතාව සතු වගකීම මේ මොහොතේ අත්‍යවශ්‍ය බවයි වෛද්‍ය ප‍්‍රසාද් කොළඹගේ නෙත් නිවුස් වෙත කියාසිටියේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් සදහන් කළේ පරීක්‍ෂණ පහසුකම් වැඩි දියුණු කර ඉදිරි අධි වසංගත තත්ත්වයක් ඇතිවීම වළක්වා ගැනීමට වහා පියවර ගත යුතු බවයි.
Previous Post Next Post