රනිල් විපක්ෂ නායක වුනා නම් මෙහෙම වෙන්නෑ - බන්දුල

රජයේ ව්‍යාපෘති සිදුකළ කොන්ත්‍රාත්කරුවන් හට පසුගිය රජය විසින් ගෙවිය යුතු හිඟ මුදල්, මේ රජය යටතේ ගෙවා නිම කිරීමට නොහැකි වීමේ වගකීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බාරගත යුතු බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

ඔහු මේ බව පවසා තිබුණේ පසුගිය 22දා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය.


මෙම හිඟමුදල් ගෙවීම සඳහා අවශ්‍ය වූ ණය සීමාව ඉහළ දැමීම සඳහා රජය විසින් විපක්ෂයේ සහය පැතූ බවත්, ඊට විරුද්ධ වන බව පවසමින් විපක්ෂය වගකීම් විරහිතව කටයුතු කිරීමේ සම්පූර්ණ වගකීම විපක්ෂ නායකවරයා භාරගත යුතු බව හෙතෙම පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතා තවමත් විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කළේ නම් එවැන්නක් සිදුනොවන බවද ඔහු සඳහන් කළේය.

මෙවැනි තීරණ ගැනීමට පෙර ප්‍රේමදාස මහතා විසින් තවදුරටත් ආර්ථික විද්‍යාව පිළිබඳව උගත යුතු බවද ඔහු පවසා සිටියේය.

යටි අරමුණක් - චම්පික

එසේම මැතිවරණයක් ප්‍රකාශයට පත් කළ විට රජයේ කටයුතු කරගෙන යාම වෙනුවෙන් මාස 3ක් සඳහා ජනාධිපතිවරයාට මුදල් වෙන් කර ගැනීමට හැකි වන බැවින් අතුරු සම්මත ගිණුමේ කාලය අවසන් වූවද මැතිවරණ කාලයේ ජනාධිපතිවරයාට පැවරෙන බලතල අනුව නව අයවැයක් ඉදිරිපත් වන තෙක් රාජ්‍ය මූල්‍ය කටයුතු පවත්වාගෙන යාම සඳහා බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ම හිමිවී තිබේ.

මේ අතර, පසුගිය සිකුරාදා දිනයේදී හිටපු අමාත්‍ය පටාලි චම්පිකා රණවක මහතා කියා සිටියේ, පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවේදී සම්මත කළහොත්, පසුගිය රජය විසින් සිදුකරන ලද සංවර්ධන ව්‍යාපෘති සඳහා නොගෙවූ සියලු ගෙවීම් කොන්ත්‍රාත්කරුවන්ට ලබා දෙන බවට පාර්ලිමේන්තුව ඉදිරියේ සහතික කරන මෙන් විපක්ෂය කළ ඉල්ලීමට රජය නිසි පිළිතුරක් ලබා නොදුන් බවයි.

“මේ සම්බන්ධයෙන් නිසි පිළිතුරක් නොදුන් බැවින් මේ පිටුපස සැඟවුණු අරමුණක් ඇති බව අපට වැටහුණා,” යැයි ඔහු පැවසීය.

මැතිවරණයත් ආසන්නයේදී රජය විසින් කඩිනමින් සංවර්ධන ව්‍යාපෘති හා බඳවා ගැනීම් ආරම්භ කර ඇති බැවින් මෙම මුදල් යොදාගනු ඇත්තේ 2019දී සංවර්ධන ව්‍යාපෘති සඳහා ද නැතිනම් නව ව්‍යාපෘති සඳහාද යන්න පිළිබඳව සැකසහිත බව ඔහු පැවසීය.

(මූලාශ්‍ර - දිණමිණ / ඉකනොමි නෙක්ස්ට්)

Previous Post Next Post