අගමැති ප්‍රමුඛ එජාපෙ ආණ්ඩුව ගැන ගතහැකි තීරණ තුනක් ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කරයි

ක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් අද (18) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ, එක්සත් ජාතික පක්‍ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

ජනාධිපතිවරණ ප්‍රතිඵලයෙන් පසු ගතයුතු ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එම රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කළේ.


ඒ අනුව කඩිනම් මහ මැතිවරණයක් පවත්වනවාද? නැතහොත් දැනට පවතින ආණ්ඩුව තවදුරටත් පවත්වාගෙන යනවාද? නොඑසේනම් ආණ්ඩුවෙන් ඉල්ලා අස්වී නව ජනාධිපතිවරයාට ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාව දෙනවාද යන්න පිළිබදව අද පැවැත්වෙන රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් කැබිනට් අමාත්‍යවරුන්ගේ විශේෂ සාකච්ඡාවක් ඊයේ (17) පස්වරුවේ පැවැත්වුණා. ඒ, අරලියගහ මන්දිරයේදීයි. එහිදී තීරණය කර ඇත්තේ මෙම සතිය තුළ ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමටයි.

මේ අතර අග්‍රාමාත්‍යවරයා, නව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත ඊයේ සුබපැතුම් පණිවිඩයක් නිකුත් කර තිබුණා. මීළගට පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය පිළිබද කථානායකවරයා, පක්‍ෂ නායකයින් සහ ආණ්ඩු පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කර තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවයි එහි වැඩිදුරටත් දක්වා තිබුණේ.

අද පෙරවරුවේ අනුරාධපුරයේදී පැවැත්වෙන නව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ දිවුරුම් දීමේ උත්සවයටද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගිවීමට නියමිත බවද වාර්තා වනවා. අද පස්වරුවේ අග්‍රාමාත්‍යවරයා නව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණ කළේ.
Previous Post Next Post