වේයන්ගොඩ සිසුවකුට මන්ත්‍රි ගුරුවරයකුගෙන් තිරිසන් ප්‍රහාරයක්

වේයන්ගොඩ ජනාධිපති විද්‍යාලයේ අංශ භාර ගුරුවරයකු එම පාසලේ 9 ශේ‍ර්ණියේ ඉගෙනුම ලබන සිසුවකුට ඉකුත් 8 වැනිදා පාසල තුළදීම සිදුකළ පහරදීමක් හේතුවෙන් එම සිසුවා වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කරන ලදුව ප්‍රතිකාර ලබා පෙරේදා (9දා) රෝහලෙන් පිටවගොස් ඇත.

මෙසේ රෝහල්ගතව ප්‍රතිකාර ගෙන ඇත්තේ වේයන්ගොඩ, පාරමුල්ල ප්‍රදේශයේ පදිංචි සිසුවෙකි. පහරදීම සිදුකළ ගුරුවරයා මීරිගම ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරයකු බව පැවැසේ.

මන්ත්‍රි ගුරුවරයාගෙන් පහරකෑමට ලක්වූ සිසුවා නිවෙසට පැමිණ පහරදීම සම්බන්ධව තමන්ට දැනුම්දීමෙන් පසු සිද්ධිය පිළිබඳව වේයන්ගොඩ පොලිසියට පැමිණිල්ලක් කර ඇති නමුත් පොලිසිය ඊයේ (10දා) වනවිටත් සැකකාර ගුරුවරයා පොලිස් අත්අඩංගුවට ගෙන නොතිබුණු බවට සිසුවාගේ මවුපියෝ චෝදනා කරති.

පහරදීම සිදුකළ මන්ත්‍රි ගුරුවරයාටම වෙන්වූ කාමරයක් පාසල තුළ තිබෙන බවත් වැරැදි සිදුකරන සිසුන් එම කාමරය තුළට රැගෙන ගොස් ඔවුන්ට අමානුෂික ලෙස පහරදීම සිදුකරන බවත් මීට පෙරද එම ගුරුවරයා සිසුන්ට සිදුකළ පහරදීම් කිහිපයක් සම්බන්ධව පොලිසියට පැමිණිලි සිදුකර ඇති බවත් මවුපියෝ අප සමඟ පැවැසූහ.

පහරකෑමට ලක්වූ සිසුවා තමාට පහරදීම සිදුකළ අයුරු අප සමඟ මෙසේ පැවැසීය.

“මම දෙවැනි පීරියඩ් එකේ පුස්තකාලෙට ගියා යාළුවෙක් එක්ක පොතක් ගන්න. ඒ ගිය වෙලාවෙ අංශභාර සර් මගේ පන්තියට ගිහින් මම නෑ කියලා මගේ පොත් බෑග් එක ගෙනිහිල්ලා තිබුණා. මම පන්තියට ඇවිත් සර්ව හොයාගෙන ගියා චිත්‍ර කාමරේට. එතැනදි මට කනට ගැහුවා. එහෙම කනට ගහලා මගෙ කලිසම යට ඉඳන් උඩට වෙනකන්ම කැපුවා.

ඊට පස්සෙ මට එයාගෙ කාමරේට එන්න කිව්වා. මම කාමරේට යද්දී බටයකින් දෙපාරක් ගැහුවා. ඒ බටේ කැඩුණා මට ගැහුවට පස්සේ. ඊට පස්සෙ කාමරේට දාලා ‍ෙදාර වහල කුණුහරුපෙන් බැන බැන මගේ ඔළුවටයි පිටටයි ගැහුවා. එහෙම ගහලා ඉවර වෙලා බිත්තියට අත්දෙක තියාගන්න කියලා යළි පොල්ලකින් ගැහුවා.”

පහරකෑමට ලක්වූ සිසුවාගේ මව ලසන්ති නිරන්ජනී මහත්මිය,

“මගේ වැඩිමහල් පුතා ගියෙත් මේ පාසලටමයි. ඒ පුතාටත් මේ විධියටම ගහලා තියෙනවා ඔය කියන ගුරුවරයා. දැන් මගේ පොඩි දරුවටත් ගහනවා. ගුරුවරයකු දරුවකු හදන්න පාරක් ගැහුවට කමක් නෑ. ඒත් මේ ගුරුවරයා ළමයින්ට ගහන්නේ එයාගේ කාමරේට දාලා ‍ෙදාර වහලා පොලුවලින්ලු. 8 වැනිදා පුතා ගෙදර ආවේ අඬ අඬා. මම ඇහුවා ඇයි පුතේ අඬන්නෙ ඔයාට කවුද ගැහුවෙ කියලා. පුතා කිව්වා සර් කෙනෙක් එයාගෙ කාමරේට දාලා, පොල්ලකින් ගැහුවා, කනටත් ගැහුවා, කන්දෙක ඇහෙන්නෙත් නෑ, පිටත් රිදෙනවා කියලා. පසුව අපි වේයන්ගොඩ පොලිසියේ පැමිණිල්ලක් දාලා වතුපිටිවල රෝහලට ගිහින් පුතාව නැවැත්තුවා. අපි ප්‍රින්සිපල් සර්ට සිද්ධිය කියන්න පාසලට ගිය වෙලාවෙ පොලිසියේ අයත් එතැනට ඇවිත් හිටියා. පොලිසියේ අය මේක සමාදාන කරන්න කතා කළා. පොලිසියෙන් තවම මේ මන්ත්‍රි ගුරුවරයාව (10 දින වනවිටත්) අත්අඩංගුවට ගෙන නෑ. නමුත් අපිට මේකට සාධාරණයක් වෙන්න ඕනේ. අපි මේ සම්බන්ධව කලාප කාර්යාලයට ගිහින් පැමිණිල්ලක් කරලා දරුවා ඔය පාසලෙන් අයින් කරගන්නවා. ඔය ගුරුවරයා ඉන්නකම් අපිට බයයි ආයෙ ඔය පාසලට දරුවාව යවන්න” යැයි එම මව හඬ වැටෙමින් පැවැසුවාය.
Previous Post Next Post