වර්ජන දිගටම කලොත් යුධ හමුදාව මැදිහත් වෙනවා - යුද හමුදාපති

සාමසාධක හමුදාව සඳහා ශ්‍රී  ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ යුද හමුදාව එයින් ඉවත් කරන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ දක්වා දැනුම් දී නොමැති බවත් එවැනි තීරණයක් රජයට දැනුම් දෙන්නේ නම් කරුණු පැහැදිලි කිරීමට ශ්‍රී  ලංකා යුද හමුදාව සූදානම් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් විසින් එවැන්නක් ප්‍රකාශ කර තිබුණද ශ්‍රී  ලංකා රජයට මේ දක්වා එම සංවිධානය ඒ පිළිබඳව නිල දැනුම් දීමක් සිදුකර නැතැයි පෙරේදා (28දා) මහනුවරදී පැවැති මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

ශ්‍රී  ලංකා යුද හමුදාවට වසර හැත්තෑවක් සම්පූර්ණ වීම සහ යුද හමුදාවේ සේනාංක හා බළඇණි හි ධජයන් ශ්‍රී  දන්ත ධාතූන් වහන්සේ හමුවේ ආශීර්වාද ගැන්වීම නිමිත්තෙන් පැවැති ආගමික වතාවත්වලින් අනතුරුව මාධ්‍ය හමුවේ යුද හමුදාපතිවරයා මේ බව කීවේය.

ශ්‍රී  ලංකාව පුරා සිදුවන වර්ජන රැල්ල හේතුවෙන් බිඳවැටී ඇති අත්‍යවශ්‍ය සේවාවන් සමනය කිරීම සඳහා අවශ්‍ය නම් ශ්‍රී  ලංකා යුද හමුදාවේ සහයෝගය ලබාදිය හැකි යැයි ද යුද හමුදාපතිවරයා කීවේය.

වර්ජනය හේතුවෙන් අත්‍යවශ්‍ය සේවා බිඳවැටී ජනතාව පීඩාවට පත්වීම වැළැක්වීම ශ්‍රී  ලංකා යුද හමුදාවේද අරමුණක් වන බවත් මේ වනතුරු සිය සහයෝගය අවශ්‍ය යැයි රජයෙන් ඉල්ලීමක් නොලැබුණු බවද ඒ මහතා කීය.

රටේ ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා ශ්‍රී  ලංකා යුද හමුදාව සෑම අංශයෙන්ම හැකි උපරිම අයුරින් වැඩපිළිවෙළ දියත් කරන බවද ඒ මහතා සඳහන් කළේය.

ශ්‍රී  ලංකා යුද හමුදාවේ හැත්තෑවන සංවත්සරය ඔක්තෝබර් මස දසවන දිනට යෙදෙන අතර ඒ නිමිත්තෙන් පැවැති ධජ ආශීර්වාද ගැන්වීමේ පූජාවට සමගාමීව ශ්‍රී  දළදා මාලිගාවේදී මහ සංඝරත්නය විෂයෙහි දානමය පුණ්‍යකර්මයක්ද පැවැත්විණි.

 නදීක දයා බණ්ඩාර
Previous Post Next Post