සැකකටයුතු යාත්‍රාවකට වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නාවික හමුදා සෙබළු 12ක් රිමාන්ඩ්

නාවික හමුදාව විසින් සැකකටයුතු යාත්‍රාවකට වෙඩි තැබීමේ සිද්ධියකට අදාළව නාවික හමුදා නිලධාරීන් දෙදෙනෙකු හා සෙබළුන් 10ක් එළැඹෙන 16 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ත්‍රිකුණාමාලය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
ත්‍රිකුණාමලය, කුච්චවේලි මුහුදු තිරයේදී ධිවර යාත්‍රාවක සිටි පුද්ගලයින් සිව් දෙනෙකුට එම යාත්‍රාව නවත්වන ලෙස දන්වා වෙඩි ප්‍රහාරයක් එල්ල කොට පසුව ඔවුන්ට පහර දීමේ චෝදනාව සම්බන්ධයෙනුයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

පසුගිය අගෝස්තු මස 28 වෙනිදා රාත්‍රියේ කුච්චවේලි මුහුදේ ගමන් කරමින් තිබු සැකකටයුතු ධිවර යාත්‍රාවක් නවත්වන ලෙසට රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි නාවික හමුදා යාත්‍රාවක් විසින් අණ කර තිබෙනවා. මෙහිදී එම ධිවර යාත්‍රාවේ ගමන් කරමින් සිටි පිරිස පලා ගොස් ඇති අතර එහිදී නාවික හමුදාව විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබුණා.

මෙම සිද්ධිය වූ දිනට පසුදින එනම් අගෝස්තු මස 29 වෙනිදා නාවික හමුදාවේ භට පිරිස් විසින් මෙම සැකකටයුතු ධිවර යාත්‍රාවේ ගමන් කළ බව කියන සැකකරුවන් තිදෙනෙක් උදැසන අත්අඩංගුවට ගෙන කුච්චවේලි පොලිසියට භාරදී පසුව එදිනම දහවල් කාලයේදී එම ධිවර යාත්‍රාවේ ගමන් කළ බව  කියන අනෙක් සැකකරු තුවාල සහිතව නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන පොලිසියට භාරදී තිබුණා.

මෙලෙස කුච්චවේලි පොලිසියට නාවික හමුදාව විසින් භාර දුන් සැකකරුවන් සිව්දෙනා වැඩිදුර විමර්ශන සඳහා ත්‍රිකුණාමලය වරාය පොලිසිය වෙත භාරදීමට කටයුතු කර ඇති අතර එහිදී වරාය පොලිසිය විසින් තුවාල ලබා සිටි සැකකරු සහ අනෙක් සැකකරුවන් තිදෙනා රෝහල් ගත කිරීමට කටයුතු කර තිබුණා.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් වරාය පොලිසිය විසින් නාවික හමුදාවේ නිලධාරීන් දෙදෙනෙකුගෙන් සහ සෙබළුන් 10 දෙනෙක් ගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන මුදා හැරීමට කටයුතු කර තිබූ අතර පසුව සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය වරාය පොලිසිය විසින් මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.

ඒ අනුව මහේස්ත්‍රාත්වරයා විසින් රෝහලට ගොස් තුවාල ලබා රෝහල් ගත කර සිටි සැකකරුවන් සිව්දෙනා නිරීක්ෂණයට භාජනය කර ඇති අතර එහිදී රෝහල් ගත කර සිටි සැකකරුවන් සිව්දෙනා විසින් මහේස්ත්‍රාත්වරයාට ප්‍රකාශයක් සිදුකරමින් කියා ඇත්තේ තමන්ට නාවික හමුදාව විසින් වෙඩි තැබූ බවත් පසුව පහර දීම හේතුවෙන් තුවාල සිදුවූ බවත්ය.

ඒ අනුව සිද්ධියෙන් තුවාල ලබා සිටි සැකකරුවන් සිව්දෙනා ශරීර ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරනු ලැබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන ලෙස වරාය පොලිසියට නියෝග කර තිබුණා.
Previous Post Next Post