24 වැනිදාට බලය උරගාන සටනක් !

ක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක තෝරාගැනීම සඳහා ලබන 24 වැනිදා අඟහරුවාදා පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම දැඩි උණුසුම්කාරී මුහුණුවරක් ගනු ඇතැයි එ.ජා.ප. අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මෙම කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී ජනාධිපති අපේක්ෂක ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ හෝ කථානායක කරු ජයසූරිය මහතාගේ නම යෝජනා කිරීමට අග්‍රාමාත්‍යවරයාගේ පාර්ශ්වය සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ නම ජනාධිපති අපේක්ෂක සඳහා යෝජනා කිරීමට සජිත් පාර්ශ්වය සූදානමින් සිටී.

මෙම තත්ත්වය අනුව එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ ඡන්ද විමසීමක් සිදුවීමට බොහෝ දුරටත ඉඩ තිබෙන අතර එවැනි තත්ත්වයක් මතුවුවහොත් පිරිසක් රහස් ඡන්දයක් ඉල්ලීමට සූදානමින් සිටිති.

නමුත් තවත් පිරිසක් දැනටමත් ප්‍රකාශ කර තිබෙන්නේ රහස් ඡන්දයක් නොව විවෘත ඡන්ද විමසීමක් සිදුකළ යුතු බවයි.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජික සංඛ්‍යාව 91කි. ඉන් කිහිපයක්ම පසුගිය කාලය තුළ පුරප්පාඩු වී තිබෙන අතර එම පුරප්පාඩු පක්ෂයේ ව්‍යවස්ථාව අනුව පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පුරවා තිබෙන බවද වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ පාර්ශ්වයද දැඩි විරෝධය එල්ල කර තිබේ.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ පාර්ශ්වය ප්‍රකාශ කරනු ලබන්නේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමද කැඳවා ජනාධිපති අපේක්ෂක තෝරා ගත යුතු බවයි.

නමුත් රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වය ප්‍රකාශ කරනු ලබන්නේ එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව අනුව ජනාධිපති අපේක්ෂක තෝරා පත්කරගත යුත්තේ පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය මඟින් පමණක් බවයි.

මෙම මත දෙක නිසාද මෙම පාර්ශ්ව අතර මේ වන විට දැඩි මතභේදකාරී තත්ත්වයක් මතුව තිබේ.

රවුෆ් හකීම්, පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන්, පී. දිගම්බරන්, රිෂාඩ් බදියුදීන් යන එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් තම සහාය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන බව ප්‍රකාශ කර තිබෙන බවද වාර්තා වේ.

තවම නිශ්චිතව තම මතය ප්‍රකාශ කර නැත්තේ රාජිත සේනාරත්න සහ අර්ජුන රණතුංග යන මහත්වරුන් පමණි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට හිතවත් පිරිස් ප්‍රකාශ කරන්නේ දෙමළ ජාතික සන්ධානයේ සහාය ජනාධිපතිවරණයේදී ඉතා තීරණාත්මක හෙයින් ඔවුන්ගේ සහාය ලබා ගැනීමට හැක්කේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පමණක් බවයි.

24 වැනිදාට යම් හෙයකින් සජිත් ප්‍රේමදාස  මහතාට ජනාධිපති අපේක්ෂක ධුරය නොලැබුණහොත් 25 වැනිදාට අරලියගහ මන්දිරය වැටලීමට සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය සූදානම් වන බවද වාර්තා වේ.

ජනාධිපති අපේක්ෂක ධුරය ලබාගැනීම සඳහා එම උත්සාහයද අසාර්ථක වුණොත් නව සන්ධානයකින් ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීමට සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය සූදානම් වන බවක්ද වාර්තා වේ. එසේ වුවහොත් එක්සත් ජාතික පක්ෂය දෙකඩ වීමේ දැඩි අවදානමක්ද පවතී.

මේ අතර සිකුරාදා පස්වරුවේදී අරලිය ගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ එක්සත් ජාතික පෙරමුණේ පක්‍ෂ නායක රැස්වීමේදී පක්‍ෂ නායකයන් බහුතරයක් ඉල්ලා ඇත්තේ වැඩිම ජනප්‍රසාදයක් හිමි සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට ජනාධිපති අපේක්‍ෂකත්වය ලබාදෙන ලෙසය.

ඊට එකඟතාව පළ කරන සලකුණු අග්‍රාමාත්‍යවරයාගෙන් විද්‍යාමාන වී තිබෙන බව වාර්තාවේ.

එක්සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය පමණක් නොව පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමද 24 වැනි අඟහරුවාදා එකවර රැස්කර ජනාධිපති අපේක්‍ෂකයා ගැන තීන්දුවක් ගන්නා ලෙසට රංජිත් මද්දුමබණ්ඩාර, මංගල සමරවීර යන අමාත්‍යවරුන් ඉල්ලා තිබේ.

ඊටද ශරීර භාෂාවෙන් පමණක් අග්‍රාමාත්‍යවරයා එකඟතාව පළ කළ අයුරෙන් හැසිරුණු බවද වාර්තා වේ.

එම රැස්වීමෙන් අනතුරුව සිවිල් සංවිධාන නියෝජිතයන් අග්‍රාමාත්‍යවරයා හමුවී ඇත.

එහිදී පූජ්‍ය දඹර අමිල හිමි, සමන් රත්නප්‍රිය ඇතුළු පිරිසක් ඉල්ලා ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්‍ෂක ධුරය ලබාදෙන ලෙසයි.

ඊටද එකඟතාව පළකරන අයුරින් අග්‍රාමාත්‍යවරයා ක්‍රියාකොට ඇති බව වාර්තා වේ.

ඉන් පසු අගමැතිවරයා හමුවී ඇත්තේ රංජිත් අලුවිහාරේ අමාත්‍යවරයාය.

‘සර් දැන් මොකද වෙන්නේ  කියන්න. මේ වෙලාවේ රට ඉල්ලන්නේ සජිත්ව‘ යැයි රංජිත් අලුවිහාරේ මහතා කියා ඇත.

සර්ට 2010දී සරත් ෆොන්සේකාටත්, 2015දී  මෛත්‍රිටත් දෙන්න පුළුවන් වුණා නම් මේ පාර සජිත්ට දෙන්න බැරි ඇයි?

මම අවුරුදු 25ක් මේ පක්‍ෂය ඇදගෙන ආවා. මට ආපු ප්‍රශ්නවලට හාට් ඇටෑක් එකක්වත් නොහැදී මං බේරුණා. ඒ තරම් කැපවීමක් මම කළා. ඒ නිසා මේ වතාවේ ඉල්ලන්නේ මමයි‘ යනුවෙන් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා පිළිතුරු දී තිබේ.

එම හමුවෙන් පසු අගමැතිවරයා, ‍ෙදාස්තර රාජිත සේනාරත්න, රවි කරුණානායක හා අග්‍රාමාත්‍ය උපදේශක දිනේෂ් වීරක්කොඩි මහත්වරුන් සමඟ සිකුරාදා රාත්‍රියේ  විශේෂ සාකච්ඡාවක්  පවත්වා තිබේ.

මව්බිම
Previous Post Next Post