මධුෂ් ඩුබායි වෙතින් වෙන රටකට.. ආණ්ඩුවෙන්ම පසුබිම හදයි !

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.

ලෝකයම පිලිගත්ත දෙයක් තමයි දේශපාලකයන්ගේ ආශිර්වාදයත් පොලිසියේ සහයෝගයක් නොමැතිව පාතාලයකට පැවතිය නොහැකි බව.
මාළුවාට ජලය වගේ පාතාලයට දේශපාලකයන් සහ පොලිසිය අවශ්‍යයි. මින් අදහස් කෙරෙන්නේ හා සියලුම පොලිස් නිලධාරීන් සහ සියලුම දේශපාලකයන් පාතාලයට සම්බන්ධ බවක්. නමුත් යම් පිරිසක් මීට සම්බන්ධ නිසා තමයි පාතාලය පවතින්නේ.

ඩුබායි හිදී අත්අඩංගුවට ගත් මොවුන් අතර රාජතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ද සහිත අයෙක් සිටින බව ඩුබායි පුවත්පත් පවා වාර්තා කළා. රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර නිකුත් කරන්නේ සීමිත පිරිසකට.  මෙම ගමන් බලපත්‍රය හිමිකරුවා කවුදැයි අප රජයෙන් විමසා සිටියා. දෙමසකට ආසන්න කාලයක් ගත වෙලත් එම පුද්ගලයා කව්දැයි තවමත් රජය හෙළිකර නැහැ. මගේ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා මේ පිළිබඳව සොයා බලා පාර්ලිමේන්තුව දැනුම්වත් කරන බව කිව්වත් තාමත් එය හෙළිකර නැහැ. මෙය හෙළි නොකරන්නේ ඉන් ආණ්ඩුවේ අමාත්‍යවරුන් ම අමාරුවේ වැටෙන නිසයි.

ඒ වගේම මධූෂ් ඇතුළු පාතාල නායකයින් ලංකාවට ගෙන ඒමට ආණ්ඩුවට ඇත්ත උවමනාවක් තිබෙනවාද කියන ප්‍රශ්නයක් මතුවෙනවා. කන්ජිපානි ඉම්රාන් ලංකාවට ඇවිත් මාලදිවයින බලා යෑමට වෙනත් ගුවන්යානයක් එන තුරු බලා සිටින විටයි පොලිස් අත්අඩංගුවට පත් වන්නේ. අමල් පෙරේරා මේ වන විට ඩුබායි වලින් පිටවී ඇති බව කිව්වත් ඔහු ලංකාවට පැමිණ නැහැ.  ඔහු පිළිබඳ නිශ්චිත තොරතුරක් කිසිවෙක් දන්නෙත් නැහැ. මාකඳුරේ මධුෂ් ද මේ ආකාරයට නිදහස් වෙලා වෙන රටකට ගියොත් කවුරුත් දන්නේ නැහැ.

උදර්පණ නීතියේ කේන්ද්‍රය විදිහට කටයුතු කරන්නේ අපේ රටේ නම් අධිකරණ අමාත්‍යාංශයයි.  ඔවුන් හරියට ක්‍රියාත්මක වුණා නම් අධිකරණ අමාත්‍යංශය ඩුබායි රාජ්‍ය සමග නිසි ගනුදෙනුවක් කලා නම් එහෙන් නිදහස් කරන අය ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන්ට භාරදිය යුතුව තිබුණා. එය එසේ සිදු නොවී ලාහෙන් එළියට පැන්න ගෙම්බන් අල්ලනවා  වගේ අපට එහෙට මෙහෙට පනිමින් මේ පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමට සිදු වීමෙන් පෙනෙන්නේ මේ අපරාධකරුවන්ට තමන්ගේ ඇඟිලි අතරින් රූටා ලිස්සා යෑමට අවශ්‍ය පසුබිම සිතාමතාම මෙම ආණ්ඩුව සකස් කර ඇති බවයි.

– අරවින්ද අතුකෝරල
Previous Post Next Post