'කාර් එකක් ගන්න ගිය නංගි අනාතයි' - මහින්ද කියයි

යහපාලන ආණ්ඩුවක් තුලින් වාහනයක් ගැනීමට අවස්ථාවක් ලැබෙන බව පසුගිය මහ මැතිවරණයේ ප්‍රචාරක දැන්වීම් වල පෙනී සිටි නංගි මෙවර අයවැයෙන් අනාත වී ඇතැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මෙවර අයවැය යෝජනාවලට අනුව වාහන මිල ඉහළයාම සම්බන්ධයෙන් ඔහු එබව සඳහන් කලේ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අයවැය කියවා අවසන්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
වාහන මිල වැඩිවෙන හැටි මෙන්න

2019 වසර සඳහා අයවැය යෝජනාව අනුව පෙට්ට්‍රල් සහ දෙමුහුන් වාහන සඳහා පනවා තිබු නිෂ්පාදන බද්ද ඉහළ දැමීම හේතුවෙන් වාහන මිළ ඉහළ යන බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරන්චිගේ මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව වැගන් ආර් (Wagon R) වර්ගයේ කාර් රථයක් රු. 250,000 කින් සහ ඇල්ටෝ වර්ගයේ කාර් රථයක් රු. 150,000 කින් මිළ ඉහළ යන බව ඔහු පැවසිය.

ඊට අමතරව ඇක්සියෝ වර්ගයේ කාර් රථයක් රුපියල් 600,000/- පමණ ඉහළ යන අතර ප්‍රිමියර් සහ CHR වර්ගයේ කාර් රථයක මිල රුපියල් 700,000/- ඉහළ යන බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා කියා සිටියේය.

සුඛෝපභෝගී බද්දක්:

මිට අමතරව මෙම අයවැය යෝජනාවලියෙන් සුඛෝපභෝගී බද්දක් පළමු වරට පනවා ඇති බවත් ඒ පිළිබඳව අධ්‍යනය කිරීමෙන් අනතුරුව සුඛෝපභෝගී වාහන මිලෙහි වෙනසක් සිදුවේද යන්න සම්බන්ධයෙන් ඉදිරියේදී මහ ජනතාව දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් පැවසිය.

ඊයේ දින ප්‍රකාශයට පත්වූ අයවැය යෝජනාවට අනුව සිලින්ඩර් ධාරිතාව 800ට අඩු පෙට්ට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බද්ද රු. 150,000/- කින් හා සිලින්ඩර් ධාරිතාව 1000ට අඩු පෙට්ට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බද්ද රු. 175,000 කින්ද, සිලින්ඩර් ධාරිතාව 1300 ට අඩු පෙට්ට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බද්ද රු. 500,000 කින් වැඩි කිරීමට යෝජනා කරනු ලැබිය.

එයට අමතරව සිලින්ඩර් ධාරිතාව 800 ට අඩු දෙමුහුන් වාහන මත නිෂ්පාදන බද්ද රු. 250,000 කින් හා සිලින්ඩර් ධාරිතාව 1500 ට අඩු දෙමුහුන් වාහන මත නිෂ්පාදන බද්ද රු. 500,000 කින් වැඩි කෙරේ.

ඉලෙක්ට්‍රික් කාර් මිල පහළට

කෙසේවුවද කිලෝවොට් 70 විදුලි මෝටර් රථ මත පනවා ඇති නිෂ්පාදන බද්ද රුපියල් 175,000 කින් සහ කුඩා ට්‍රක් රථ සඳහා පනවා ඇති නිෂ්පාදන බදු මෙවර අයවැයෙන් අඩුකර තිබේ.

එසේම, වාහන ආනයනය කිරීමේදී අය කෙරෙන 200%ක මුදල් තැන්පතුව ඉවත් කිරීමට මුදල් අමාත්‍යවරයා මෙවර අයවැයෙන් යෝජනා කළේය.
Previous Post Next Post