සනත්ට වසර 2ක තහනමක් !

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දුෂණ මර්ධන නීති පද්ධතියේ වගන්ති දෙකක් උල්ලංඝණය කළ බව පිළිගැනීම හේතුවෙන් ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ හිටපු නායක සනත් ජයසූරියට වසර දෙකක පූර්ණ තහනමක් පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව තීරණය කර තිබේ.


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු තේරීම් කමිටු ප්‍රධානියාද වූ සනත් ජයසූරිය මහතා අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පනවන ලද දුෂණ මර්ධන නීති සංග්‍රහයේ පහත සඳහන් වගන්ති දෙක උල්ලංඝණය කළ බව පිළිගෙන තිබේ.

වගන්තිය 2.4.6

දුෂණ මර්ධන ඒකකය විසින් පවත්වාගෙන යනු ලබන කිසියම් විමර්ශනයක් සම්බන්ධයෙන් සාධාරණ හේතුවකින් තොරව සහයෝගය නොදීම හෝ සහයෝගය දීම ප්‍රතික්ෂේප කිරීම. එම විමර්ශන සඳහා අදාළ වන පරිදි දූෂණ මර්ධන ඒකකය විසින් ඉල්ලා සිටිනු ලබන කිසියම් තොරතුරක් හෝ ලියවිල්ලක් සැපයීම ප්‍රතික්ෂේප කිරීම නැතහොත් සම්පූර්ණ නොකිරීමද මෙම වගන්තියට ඇතුළත් වේ.

වගන්තිය 2.4.7

දුෂණ මර්ධන ඒකක විසින් පවත්වාගෙන යනු ලබන කිසියම් විමර්ශනයක් සම්බන්ධයෙන් බාධා කිරීම හෝ එම විමර්ශන ප්‍රමාද වන පරිදි කටයුතු කිරිම. එම විමර්ශන සඳහා අදාළ වන තොරතුරු හෝ සාක්ෂි හෙළිදරව් විය හැකි තොරතුරු වසංකිරීම හෝ විකෘති කිරීම නැතාහොත් විනාශ කිරීමද මීට ඇතුළත් වේ.

මෙම වගන්ති දෙක උල්ලංඝණය කිරීම පිළිගෙන සිටින බැවින්, ක්‍රිකට් ක්‍රීව සම්බන්ධයෙන් වසර දෙකක කාලයක් පුරා, කිසිදු ආකාරයකින් දායකත්වය දැරිය නොහැකි වන පරිදි තහනමක් ඔහු විසින් බාරගනු ලැබ තිබේ.

ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වන්නන් ක්‍රිකට් විමර්ශන සම්බන්ධයෙන් දායකත්වය දැක්වීමේ වැදගත්කම මෙම දණ්ඩනය මගින් තහවුරු වන බව ද අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දුෂණ මර්ධන ඒකකයේ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාෂල් මහතා පැවසීය.

‘‘අපගේ ක්‍රීඩාව දුෂණයෙන් තොරව පවත්වාගෙන යාම සඳහා මෙම විමර්ශන වලට සහාය දීම ඉතාමත් වැදගත් මෙන්ම මූලික ආයුධයක් බව කීමට කැමැත්තෙමි. අපගේ ක්‍රීඩාවේ අවංකභාවය රැකගැනීම සඳහා මෙම නීති රීති අත්‍යවශ්‍ය මෙවලම් වේ‘‘ යයිද ඇලෙක්ස් මාෂල් මහතා පැවසීය.

සනත් ජයසූරියට පනවන ලද තහනම අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් මෑතකදී කරන ලද විමර්ශන වල අලූත්ම ප්‍රතිඵලයයි. පසුගිය ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ වූවන්ට සහන කාලයක් දුන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව ක්‍රිකට් දුෂණ සම්බන්ධයෙන් යමක් දන්නේ නම් ඒවා පසුගිය ජනවාරි මස 31 වැනිදාට පෙර තමන්ට ප්‍රකාශ කරන ලෙසත් දැනුම් දුන්නේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ක්‍රීඩකයෝ 11 දෙනෙක් සහ තවත් කිහිප දෙනෙක් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දුෂණ මර්ධන ඒකකයට තොරතුරු සැපයූහ.

‘‘මේ සහන කාලය ඉතාමත් හොඳින් ක්‍රියාත්මක වුණා විතරක් නෙමේ ඒ කාලයේදී ඉතාම වැදගත් අලූත් තොරතුරු රැසක්ම අපට ලැබුණා. ඒ අලුත් තොරතුරු වලින් දැනට කෙරීගෙන යන අපගේ විමර්ශන වලට ලොකු පිටිවහලක් ලැබුණා. ඒ විතරක් නෙමේ. අලූත් විමර්ශන ආරම්භ කරන්නත් පුළුවන් වුණා‘‘ යැයිද ඇලෙක්ස් මාෂල් මහතා පැවසීය.

‘‘මේ සහන කාලයේදී අපට තොරතුරු ලබා දුන් අයට, එසේ තොරතුරු දීම ගැන, මා ඉත සිතින්ම ස්තුති කරනවා. මේ තොරතුරු නිසා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අපට දැන් ඉතාමත් පැහැදිළි පින්තූරයක් තියෙනවා.ඒ නිසා අපගේ විමර්ශන ඉදිරියටත් ගෙනියනවා‘‘ යයිද අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දුෂණ මර්ධන ඒකකයේ සාමාන්‍යාධිකාරීවරයා පැවසීය.
Previous Post Next Post