හඳපානේ පැන ගිය යුවල කැලේ වැවක ගිලෙයි !

නවගත්තේගම - කැලේවැව වැවක දිය නෑමට ගිය තරුණ අඹු - සැමි යුවලක් දියේ ගිලී මිය ගොස් ඇති බව නවගත්තේගම පොලීසිය කියයි.

පසුගිය 18 වැනිදා සවස මෙම අනතුර සිදුවී ඇත.

අනතුරින් මිය ගොස් ඇත්තේ වෙන්නප්පුව - වයික්කාල,අංගම්පිටිය පදිංචිව සිටි චන්ද්‍රාදිපතියලාගේ ප්‍රසාද් දර්ශන ප්‍රේමරත්න (අවු:22) සහ කොස්වත්ත - පොතුවටවන,කහටවිල පදිංචිව සිටි මල්ලවාරච්චිගේ දෝන ඉෂාරා නිලක්ෂි (අවු:17) නම්වූ දෙදෙනෙකි.
මිය ගොස් ඇති දෙදෙනා මීට දින 05 කට පමණ පෙර තම මව්පියන්ට හොර රහසේ නිවෙස් වලින් පිටවී නවගත්තේගම - කැලේවැව ප්‍රදේශයට පැමිණ ඇත.

ඔවුන් තරුණයාගේ ඥාති නිවසක අඹු - සැමියන් ලෙස ජීවත් වෙමින් ගඩොල් කපා ජීවත් වී ඇති බව පොලීසිය කියයි. තරුණිය අතුරුදහන්වීම සම්බන්ධයෙන් ඇයගේ මව්පියන් විසින් කොස්වත්ත පොලීසියට පැමිණිල්ලක්ද සිදු කර තිබී ඇත.

18 වැනිදා සවස දෙදෙනාව දිය නෑම සදහා කැලේවැව වැවට ගොස් ඇත. මුලින්ම තරුණිය දියේ ගිලී ඇති අතර ඇය බේරා ගැනීමට උත්සාහ කළ තරුණයාද ඒ සමගම දියේ ගිලී ඇත.ප්‍රදේශවාසීන් සහ පොලීසිය එක්ව දියේ ගිලී සිටි දෙදෙනාවම ගොඩට ගෙන ඇතත් ඒ වන විටත් ඔවුන් මිය ගොස් තිබී ඇත.

මළ සිරුර පුත්තලම මූලික රෝහලේ තැම්පත් කර ඇති අතර,පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත ඇත.

නවගත්තේගම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.
Previous Post Next Post