ජනාධිපතිවරණය දෙසැ. 7 හෝ ඊට පෙර සෙනසුරාදා: මෛත්‍රී - රනිල් සටනක්

ඉදිරි ජනාධිපතිවරණය ලබන දෙසැම්බර් මස 7 වැනිදා හෝ ඊට පෙර සෙනසුරාදා දිනකදී පැවැත්වෙනු ඇතැයි මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග උපුටා දක්වමින් 'දිවයින' පුවත්පත වාර්තාකර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණය කලින් ප්‍රකාශයට පත් කරන්නේ නම් හැර නිල කාලය සාමාන්‍ය පරිදි අවසන් වන්නේ නම් ජනාධිපතිවරණ නීතියට අනුව ලබන නොවැම්බර් මස 9 වැනිදා සිට දෙසැම්බර් මස 9 වැනිදා අතර දිනයක දී ඡන්ද විමසීම සිදු කළ යුතු වෙයි.
2019 ඡන්ද හිමි නාමලේඛනය සකස් කර අවසන් කර සහතික කිරීම ඔක්තෝම්බර් මස 22 වැනිදා වන විට අවසන් කිරීමට මැතිවරණ කොමිසම සැලසුම් කර ඇති අතර එදින ජනපතිවරණය සඳහා මැතිවරණ කොමිසම විසින් නාමයෝජනා පත්‍ර කැඳවීමේ නිවේදනය නිකුත් කරන්නේ නම් දෙසැම්බර් මස මුලදී ඡන්ද විමසීම සිදු කළ හැකි වේ.

 නාම යෝජනා පත්‍ර කැඳවීමේ නිවේදනය නිකුත් කර අවම වශයෙන් දින දහසයකින් (16 කින්) පසුව නාම යෝජනා පත්‍ර භාර ගැනීම සිදු කළ යුතු වෙයි.

එමෙන්ම නාම යෝජනා පත්‍ර භාර ගත් දින සිට අවම සති හතරකින් ඡන්ද විමසීම සිදු කළ හැකි බව මැතිවරණ කොමිසම පෙරේදා (27 දා) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අනාවරණය කළේය.

 ඡන්ද විමසීම සිදු කරනු ලබන්නේ සෙනසුරාදා දිනයක වන බැවින් 2019 ඡන්ද හිමි නාමලේඛනය යටතේ ජනාධිපතිවරණය පැවැත්වීමේදී දෙසැම්බර් මස 7 වැනිදා හෝ ඊට ආසන්න දිනයක් යෙදෙන බවද වාර්තා වේ.

පොහොට්ටුවේ අගමැති අපේක්ෂකයා මහින්ද !

ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන්ම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද දැනටමත් තීරණය කර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන බවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා එකඟත්වය පළකර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද සහය මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබෙනු ඇතැයි එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු මේවනවිටත් ආරම්භවී ඇති අතර එහි ප්‍රචාරක කටයුතු සඳහා දේශීය හා ජාත්‍යන්තර ප්‍රචාරක ආයතන කිහිපයක් මේවනවිටත් තීන්දුකර ඇතැයි වාර්තාවේ.
Previous Post Next Post