ජනාධිපතිගේ අවසන් තීන්දුව 05 බදාදා !

දෙසැම්බර් 5 වෙනි දින විවාදයට ගැනෙන යෝජනාවට ඉලෙක්ට්‍රොනික ක්‍රමය ඔස්සේ ඡන්දය විමසූ විට අගමැතිවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන්ට පවසා ඇත.

දෙමළ ජාතික සන්ධාන වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් සිවමෝහන් මහතා ඒ බව කියා සිටියේ
ඊයේ (30) රාත්‍රී ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටත සිටි ජනමාධ්‍යවේදීන් අමතමිනි.

පසුගිය අවස්ථාවලදී හඬ අනුව විශ්වාසභංග යෝජනාවල ප්‍රතිඵල ලබාගත් නමුත් ලබන පස් වෙනි දින ඉදිරිපත් කෙරෙන යෝජනාවේ ඡන්ද විමසීම ඉලෙක්ට්‍රොනික ක්‍රමයට ලබා ගැනීමට එහිදී එකඟ වූ බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

අලුත් විශ්වාසභංග යෝජනාවක් නොවේ !

ඒ සම්බන්ධයෙන් 'බීබීසී සිංහල සේවය' සමග අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්ඒ සුමන්දිරන් මහතා කියා සිටියේ, එය අලුත් විශ්වාසභංග යෝජනාවක් නොවන බවය.

"මීට ඉහතදී සම්මත කෙරුණු විශ්වාසභංග යෝජනා සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින යෝජනාවක් දැනටමත් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ගැන පස් වෙනිදා විවාදයට ගැනෙනවා," ඔහු පැවසීය.

පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ඇති පුද්ගලයාට අගමැති පදවිය ලබා දෙන අතර, තමන් පත් කළ අගමැති මහින්ද රාජපක්ෂ මහතාට බහුතර බලයක් නොමැති බව පිළිගන්නා බවත් ජනාධිපතිවරයා එම හමුවේදී ප්‍රකාශ කළ බව දෙමළ ජාතික සන්ධාන වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ

ජනාධිපතිවරයා දෙමළ ජාතික සන්ධානය සහ එක්සතා ජාතික පෙරමුණ මුණගැසුනේ, බ්‍රහස්පතින්දා (29) සවස කතානායක කරු ජයසූරිය මහතා සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුවය.

ජනාධිපතිවරයා එහිදී දැක්වූ ප්‍රතිචාරය පිළිබඳව කතානායකවරයා සුභවාදී සහ බලාපොරොත්තු සහගත ආකල්පයක් දරන බව එම හමුවෙන් පසුව කතානායක මාධ්‍ය අංශය විසින් නිකුත්කර ඇති නිවේදනයෙන් පැහැදිලිවේ.

රනිල්ට දෙන්නෙම නැති ලු !

කෙසේ වුවත් රනිල් වික්‍රමසිංහ මහතා යළිත් වරක් අගමැති පදවියට පත් නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දිගින් දිගටම අවධාරණය කළ අතර, දෙසැම්බර් පස් වෙනි දින අගමැති පදවියට පත්කරනු ලබන්නේ කවරෙකු ද යන්න සම්බන්ධයෙන් සිකුරාදා (නොවැම්බර් 30) සාකච්ඡාවේදී කිසිවක් සඳහන් නොවූ බව ද එස් සිවමෝහන් මන්ත්‍රීවරයා පැවසීය.

මේ අතර මන්ත්‍රීවරුන් 14 දෙනෙකුගේ අත්සන් සහිතව බ්‍රහස්පතින්දා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කළ දෙමළ ජාතික සන්ධානය, ඔක්තෝබර් 20 වෙනි දිනට පෙර පැවති එක්සත් ජාතික පෙරමුණේ නායකත්වයෙන් යුතු ආණ්ඩුව යළි පිහිටුවීම සඳහා සහය පළකරන බව සඳහන් කර තිබුණි.

ජනාධිපතිවරයා නව අගමැතිවරයෙක් පත්කොට මාසයක් ගතවීමෙන් අනතුරුවත් තමන්ට පාර්ලිමේන්තුවේ බහුතර බලය තිබෙන බව සනාථ කිරීමට ඔහු සමත් වී නොමැති බව පෙන්වාදෙන දෙමළ ජාතික සන්ධානය, පසුගිය නොවැම්බර් 14 සහ 16 දෙදින සම්මත වූ විශ්වාස භංග යෝජනා අනුව රටට අගමැතිවරයෙකු සහ කැබිනට් මණ්ඩලයක් නොමැති තත්වයක් නිර්මාණය වූ බව ද පෙන්වා දී තිබුණි.

ජනාධිපතිවරයා ඊයේ (30) රාත්‍රී එක්සත් ජාතික පෙරමුණ සමග පැවැත්වූ සාකච්ඡාව පිළිබඳ වැඩි විස්තර මෙතෙක් අනාවරණය වී නැත.

කෙසේවුවද දේශපාලන විචාරකයින් පවසන්නේ, එක්සත් ජාතික පෙරමුණ, දෙමල ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ එක්ව දිගින් දිගටම පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වුවද දෙසැම්බර් 07 දා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලැබෙනතෙක් ජනාධිපතිවරයා කල්මරමින් සිටින බවයි.


(මුලාශ්‍රය - බීබීසී සිංහල සේවය)


Previous Post Next Post