''ගජා'' ගැන අවධානයෙන් ඉන්න

මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින සුළි කුණාටුව (GAJA-ගජා) මේ වන විට කන්කසන්තුරය සිට ආසන්න වශයෙන් කි.මී 900 පමණ ඊසාන දෙසින් උතුරු අක්ෂාංශ 13.5 සහ නැගෙනහිර දේශාංශ 87.4 ආසන්නයේ ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම පද්ධතිය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් ඉදිරි පැය 12 තුළදී බස්නාහිර දෙසට ගමන් කර
ඉන් අනතුරුව බටහිරට බරව නිරිත දෙසට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ධීවර සහ නාවුක කටයුතුවල යෙදෙන ධීවර සහ නාවුක ප්‍රජාවගෙන් මේ පිළිබඳ අවධානය යොමුකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

පොතුවිල් සිට ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැකි අතර දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං වයඹ දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කී.මී. 30-40 පමණ වන බව කාගුණ විද්‍යා දෙපාර්තමේන්තු විසින් නිතුත් කළ නිවේදනයේ දැක් වෙයි.

දිවයිනට නිරිත සහ නැගෙනහිර දෙසින් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 45-50දක්වා වැඩිවිය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු විය හැකි බව කාගුණ විද්‍යා දෙපාර්තමේන්තු පවසයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී සුළං වේගය ක්ෂණිකව (පැ.කි.මී. 70-80 පමණ) ඉහළ යාමට ඉඩ ඇති හෙයින් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් දැක් වෙයි.



Previous Post Next Post