පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැහැ - ශ්‍රීලනිප මහ ලේකම්

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හෝ යලිත් කල් තැබීමට හෝ හදිසි මහ මැතිවරණයක් පැවැත්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අදහසක් නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා අවධාරණය කර සිටියි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08)
පස්වරුවේ රැස් වූ එම පක්‍ෂයේ සමස්ත ලංකා කාරක සභා රැස්වීමෙන් පසු මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ඔහු එබව කියා සිටියේය.

'' පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේත් නැහැ, අයෙත් කල් දාන්නෙත් නැහැ කියල ජනාධිපතිතුමා අද රැස්වීමේදී කියා සිටියා. මහ මැතිවරණයක් දැන්ම තියන්නේ නැහැ කියලත් කිවා .. බහුතර බලය පාර්ලිමේන්තුවේදී පෙන්වන බව එතුමා එහිදී අවධාරණය කර සිටියා '' යයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

 ''පාර්ලිමේන්තුව විසුරුවන්න ජනාධිපතිට බෑ'' - ජයම්පති 

මේ අතර එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි ජයම්පති වික්‍රමරත්න මහතා පවසන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට උවමනාවක් තිබුන ද 2020 මාර්තු වන තුරු පාර්ලිමේන්තුව විසුරුවන්න ජනාධිපතිවරයට නොහැකි බවයි.

''පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නම් නොපැමිණි මන්ත්‍රිවරුන්ද ඇතුළුව තුනෙන් දෙකක් මන්ත්‍රිවරුන්ගේ යෝජනා සම්මතයකින් පාර්ලිමේන්තුව විසුරුවා හරින්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ යුතු වෙනවා. එසේ නැතිව 2020 මාර්තු පළමු දින වනතුරු මේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොහැකි ''යැයි ජයම්පති වික්‍රමරත්න මහතා කියා සිටියේ පසුගිය දා අගලවත්ත යටියන ලංකා සම සමාජ පක්ෂ කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදීය.

Previous Post Next Post