කරුණු දෙකක් සඳහන් කරමින් රනිල් ජනපතිට එවූ ලිපිය හෙළිදරව් කරයි

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත කරුණු දෙකක් සඳහන් කරමින් එවා තිබූ ලිපියක් සම්බන්ධයෙන් අමාත්‍ය දයාසිරි ජයසේකර හෙළිදරව්වක් සිදු කළා.

ඒ ඊයේ (28) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීයි.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ "ජනාධිපති
මෛත්‍රිපාල සිරිසේන මහතා පත්වීමට පෙර 2015 ජනවාරි 05 වැනිදා සම්පූර්ණ ප්‍රචාරක කටයුතු අවසන් වුණා. 06 වැනිදා උදේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ලිපියක් එවුවා..ජනාධිපතිතුමාට කාරණා දෙකක් සඳහන් කරලා. එකක් තමයි..ඔබතුමා පත් වුණාම මාව අගමැති කරන්න. දෙවැනි එක ඔබතුමා පත්වුණායින් පස්සේ ගැසට් එකකින් මට සියලුම බලතල පවරා දෙන්න ඕනේ. ඒ කියන්නේ මේ දිනන්නත් කලින් නේ. දැන් තේරෙනවා ඇති නේ.. ජනාධිපතිතුමාව පත් කරන්නේ.. එතුමව නිකම්ම නිකම් ජනාධිපති පුටුවේ වාඩි කරලා තියෙන රූකඩයක් බවට පත් කර ගන්න තමයි ඒගොල්ලන්ට උවමනා වෙලා තිබුණේ. ඒක තමයි 2015 ජනවාරි 08 කරපු විප්ලවයේ ප්‍රථිපලය. රනිල් වික්‍රමසිංහ මහත්තයාට උවමනා වුණා ඒ සියලු බලතල එතුමට පවර ගන්න. මේක බල අරගලයක ප්‍රශ්නයක්. එක්සත් ජාතික පාක්ෂිකයෝ ගිහිල්ලා ඡන්දෙ දුන්නා තමයි..හැබැයි ඔවුන්වත් දැනගෙන හිටියේ නෑ මේ විනාශය කිරීම තමයි අරමුණ කියලා."  යනුවෙනි.

Previous Post Next Post