‘ආවා’ කල්ලිය සමග මීළග ප්‍රභාකරන් එයි..

පිවිතුරු හෙළ උරුමය පක්‍ෂ මූලස්තානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් නියෝජ්‍ය නායක මධු මාධව අරවින්ද මහතා මෙම අදහස් පල කලේය.

මම අද මතු කරන්නේ නියපොත්තෙන් කඩන්නට තිබුණු දෙයක් එය
එසේ නොකිරීම නිසා පොරවෙන් කැපිය යුතු මහ ගසක් වෙමින් පවතින බව අපි මතක් කරන්න කැමතියි.    වසර තිහක් මළමිනී වලින් වන්දි ගෙවූ රටක මිනිස්සු හැටියට ඒ උගත් පාඩම් ඇති නිසා, මේ මොහොතේ භයානකම ආණ්ඩු පක්ෂයේ කිසිම දේශපාලනඥයකුගේ කතාබහට ලක් නොවන නිසා අපි අද ඒ ගැන කතා කරනවා.

1969 තංගදොරෙත සහ කුට්ටුමනී කියන තරුණයන් දෙදෙනා ඉන්දියාවත් සමග හොර බඩු ජාවාරම කරනකොට ඉතා උපහාසයෙන් තරුණ කොල්ලන්ගෙ පුංචි වැඩක් ලෙස හැඳින්වූවා මේ රට. 1970 සත්‍යසීලන් හා තරුණ කණ්ඩායමක් කල්ලි ගැහිලා අහුවෙනකොට කොල්ලො ටික කලේ තක්කඩි වැඩක් ලෙස හුරතල් කරා මේ රට. 1971 ශ්‍රී සභාරත්නම් සහ වෙට්ටිලකන්නි කියන තරුණයෝ දෙන්නා තරුණ කණ්ඩායමක් හදලා පළවෙනි පොලිස් ඇන්ට්‍රිය ලැබෙනකොට එයත් පුංචි සිද්ධියක් විදිහටයි මේ රට දැක්කේ. ඒ වගේම 1972 ඇල්බර්ට් දොරේරප්පට වෙඩි තියනකොට එතුමා  බේරුණා තරුණ  දරුවෝ චූටි වැඩක් කියලා මේ රට දැක්කා. ඒවගේම කුමාරගුරුසිංහම් රජයේ ආධාරකරුවෙක් එවකට එතුමාට තිබ්බ වෙඩිල්ල ටැක්සි රියැදුරෙක් ට වදින කොටත් මේ තරුණ දරුවන්ගේ චූටි වැඩක් කියලා මේ රට කිව්වා. ඒ අතරතුර  යාපනයේ දොරේ අප්පා, නගරාධිපතිතුමා විදියට සිංහල සමාජය එක්ක ලඟින් වැඩකළ නිසා අමිර්තලිංගම් නම්  කලා ද්‍රෝහියෙක් විදියට. එතකොට ඔන්න යාපනයේ තරුණයන්ට දුන්නා ආම්පන්න අතට ඇවිස්සියන්  සිංහල සමාජයට විරුද්ධව කියලා. චෙල්වනායගම්ගේ මෙහෙයවීමෙන් අමිර්තලිංගම් පටන් ගත්තා සිංහල සමාජයට එරෙහිව වෛරය වපුර වන්නට දොරෙයප්පා  ද්‍රෝහියෙක් ලෙස හඳුන්වලා.

අපිට මතකයි ඉතිහාසයේ ජූලි 4 වෙනිදට කලින් බැංකු එක දිගට මංකොල්ල කන්න පටන් ගත්තා. යාපනයේ පළමුවැන්න 1974 ජූලි 4 වැනිදා ශ්‍රිවකුමාරන් බැංකුව මංකොල්ල කනවා. ඒ අය චූටි වැඩක් විදියට හඳුන්වනවා. ප්‍රභාකරන් කියන ඝාතකයා  චූටි පැටියෙක් විදියට පළවෙනි බැංකු මංකොල්ලය කනවා 1975 මාර්තු මාසේ පස්වෙනිදා. රජයේ බැංකුවක් මංකොල්ල කනවා. මීට පස්සේ සමුපකාර බැංකුව මංකොල්ල කනවා. එතැනින් නොනවතින ඒ චූටි පැටව් ටික 1975 ඒ මුදල් ටිකෙන් වඩෙයිකුඩා සම්මුතිය හරහා දෙමළ රටක් නිර්මාණය කරමු කියන පණිවිඩය ගේනවා. 1976දී එහෙම කියපු ද්‍රෝහියා ව ඒ චූටි පැටව් ටික වෙඩි තියලා මරා දානවා. 26700ක්  මේ රටේ රණවිරුවන් යන්නම ගියේ එදා ඒ චූටි පැටව් හුරතල් කරපු නිසා කියලා තමයි අපි විශ්වාස කරන්නේ.

දැන් මේ රටේ අගමැතිවරයා ගෙන් රට ගියාම අහන ප්‍රශ්නය වෙන්නේ නිජ බිමක අයිතිකරුවන් වන දෙමළ මිනිසුන්ට මෙහෙ ප්‍රශ්න නේද කියලා. කොන්දක් ඇති නායකයෙක් මුලින්ම නිවැරදි කරන්න ඕනේ ප්‍රශ්නය මෙතන දෙමළ නිජබිමක් නැහැ කියන එකයි. මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් දෙමළ බර්ගර් මැලේ සියලු දෙනාම වාසය කරන ඒකත් චක්‍ර රටක්. නමුත් මේ කොන්ද පණ නැති අගමැති ඒකට මුකුත් කියන්නෑ. ඇත්තනේ නිජබිම ප්‍රශ්නයක් තියෙනවා. ආරක්ෂාව පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා තියෙනවා. චූටි පැටව් ටිකක් දඟ කරනවා ආවා කියන කල්ලියක් හැටියට. ඒ තමයි ලැබෙන උත්තර.

තුවාල සුව වුණාට පස්සෙත් හමුදා කඳවුරු එහෙ තියලා තිබ්බෙ දෙමළ ජනතාව මර්දනය කරන්නට නෙවෙයි නීතිය සහ සාමය ආරක්ෂා කරන්න කියලා අපි අගමැතිතුමාට මතක් කළා. නමුත් රට ගියාම කියනවා චූටි පැටව් ටිකක් ඉන්නවා කියලා. දැන් අපිට තොරතුරු ලැබෙනවා චූටි පැටව් ටික ඉන්දියාවේ ගිහිල්ලා සෙල්පි ගහ ගහ යුද පුහුණුව ලබනවා කියලා. මෙය දැන් ෆේස්බුක් එකෙත් දානවා කිසි ප්‍රශ්ණයක් නෑ චූටි පැටව් නේ. මේ සිංහල සමාජය මෙහෙම කරා නම් අද ඒ තරුණයන් අත්අඩංගුවට. අද මේ තමිල්නාඩු චිත්‍රපටි වගේ මේ කඳවුරු බැඳගෙන, අවි ආයුධ පුහුණුව ලබන බවට ඔවුන් ප්‍රසිද්ධියේ කියනවා ඉන්දියාවේ.  ඒ නිසා අපි කියනවා ඔවුන් යලි එද්දී ගුවන්තොටුපළේදීම  අත්අඩංගුවට ගන්න මේ රටට ආදරය තියෙනවනම්. මේ චූටි පැටව් නෙවෙයි. මේ ත්‍රස්තවාදීන්. අනාගත ප්‍රභාකරන් මේ අතර ඉන්න පුළුවන් මේ රටේ ජනතාව දහස් ගණනින් මරණයට පත්කරන. අපි හැමදාමත් කෙලින් කතා කරේ. අපි දේශපාලනිකව යුද වදිනවා සිංහල ජාතිය වෙනුවෙන්. කඩ සාප්පු ගිනි තියන්න, මිනිස්සු මරන්න, නෙවෙයි අපි දේශපාලනය කරන්නේ.

විජයකලා මහේශ්වරන් ප්‍රසිද්ධියේ මේ රටට වින කරපු කොටි හුරතල් කරද්දි වන්ෂොට් ලෝකයේ සත්‍යවාදීම කෙනා අහනවා ඔයා ඇයි අනේ එහෙම නෝටි වැඩ කරන්නේ. එයාගේ අර මාධ්‍ය සාකච්ඡාවල තියනවනේ අලුත්ම සම්ප්‍රදාය. තමන් දන්න කියන අය පවා පාවා දෙනවා ටෙලිෆොන් කෝල් වලින් . ඇමතිවරයෙක් විදියට වැඩ කරන්නෙ නෑ. ටෙලිෆොන් කෝල් ඇමති  “අනේ ඇයි ඔයා එහෙම කලේ. අනේ එහෙම කරන්න එපා” කියල කියනවා. ඔහු අනිත් තැන් වල කොහොමද කතා කරන්නේ. පුප්පගෙන දඟලන්නේ.

අපි මතක් කරනවා ආවා කණ්ඩායම සක්‍රියයි. එය රහසක් නෙවෙයි. ඒ නිසා අපි මතක් කරනවා ඒවට විරුද්ධ වෙන්න. එදා අපිට මතකයි 1975  මුලින්ම සරසවියේ දෙමළ තරුණ ළමයින් පාරට බැස්සේ සිංහල දරුවෝ පස් දෙනෙක් වැඩියි කියලා. විභාගය සමත් වෙච්ච පස්දෙනෙක් වැඩියි කියලා අර කුපිත කරපු අමිර්තලිංගම් ගේ කතා අහලා මේ දරුවෝ පාරට බැස්සා. පසුකාලීනව මේ දරුවන් ත්‍රස්තවාදීන් බවට පත්වුණා.

මේ රටේ ආණ්ඩු පක්ෂය කිසිම කෙනෙක් කටක් අරිනේ නැති කොට මෙන්න දැන් දෙමළ දරුවෝ දකුණට එනවා සිරකරුවන් නිදහස් කරන්න ත්‍රස්තවාදීන්ගේ අයිතීන් ගැන කතා කරන්න. එහිදී මව්බිමට ආදරය කරන තරුණ දරුවන් දෙදෙනෙක් ඊට එරෙහිවෙනවා.  පිවිතුරු හෙළ උරුමය මේ ආදරණීය තරුණයන් දෙන්නට ගෞරව කරනවා. ඔබට විරුද්ධ වෙන්න අයිතියක් තියෙනවා ත්‍රස්තවාදයට ඔබේ කොන්ද කෙලින් තියාගෙන. ආණ්ඩු පක්ෂයේ ඇමතිලාට නැති කොන්ද ඔබට තිබ්බ බව දැක්ක මේ රටේ මිනිස්සු හරි ආඩම්බර උනා ඔබ ගැන. අපි ඔබ දෙදෙනාම සමරනවා හෙට දවසේ. මෙහෙම විරුද්ධ වෙන්න කොන්දක් මේ රටේ සෑම මිනිසෙකුටම ඇති වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.

– අරවින්ද අතුකෝරල

Previous Post Next Post