නාමල් කුමාර තවත් හඬපට කිහිපයක් එළියට අදී !

නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා පිළිබඳ අනාවරණයක් සිදු කළ නාමල් කුමාර නැමැත්තා අද (26) යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතය. ඒ, රජයේ ප්‍රධාන රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් වීමේ අරමුණිනි.

නාමල් කුමාර නැමැත්තාගේ කටහඬ සහ දුරකතන සංවාදයේ හඬ නිවැරදි
දැයි පරීක්ෂා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඊයේ (25) ඉල්ලීමක් කළේය.

ඒ අනුව ඔහු අද පෙරවරු 10.00ට රජයේ රස පරීක්ෂක වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කළාය.

ඡායාරූප කිහිපයකුත් එලියට :

මේ සම්බන්ධයෙන් අදහස් 'නෙත් නිව්ස්' වෙත දැක්වූ දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර නැමැත්තා ප්‍රකාශ කළේ තමන් අද දිනයේ දී තවත් හඬපට කිහිපයක් රැගෙන එන බවයි.

"නාලක සිල්වා මහත්තයා සහ මම අතර සිදුවුණ සංවාදවල තවත් විශේෂ හඬපට කිහිපයක් සහ වෙනත් විශේෂ තොරතුරු කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කටයුතු සඳහා ලබා දෙන්න මම කටයුතු කරනවා. ඡායාරූප කිහිපයකුත් තියෙනවා." යනුවෙන් ඔහු සඳහන් කළේය.

මෛත්‍රීට හා මහින්දට ජිවිත තර්ජන !

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයින්ට ද ජීවිත තර්ජන ඇතැයි අධිකරණය හමුවේ තොරතුරු වාර්තා වී ඇත.

ඒ, නාමල් කුමාර නැමැත්තාගේ නිවසේදී අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදීය. ඔහු ලබාදුන් ප්‍රකාශ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඊයේ දැනුම් දී සිටියේය.

ඒ අනුව මෙම ඉන්දීය ජාතිකයා තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීමට සූදානම් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම සැකකරු ඉකුත්දා වරකාපොළ ප්‍රදේශයේ පිහිටි නාමල් කුමාර නැමැත්තාගේ නිවසේදී අත්අඩංගුවට ගැනිණ.

ඔහු මෙරටට පැමිණ වීසා බලපත්‍ර නොමැතිව කුළී පදනම මත ජීවත් වී ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබේ.

(නෙත් නිව්ස්)



gossip lanka