මිරිස්කුඩු ගහලා කෝටියක මුදලක් මංකොල්ල කාපු සැකකරුවන් 5ක් පොලීසියට කොටු

ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රවල තැන්පත් කිරීම සඳහා රැගෙන යමින් තිබූ රුපියල් කෝටියකට අධික මුදලක් කොල්ලකෑමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවන් 5 දෙනෙකු පොලීස් කණ්ඩායම් කිහිපයක් විසින් සිදුකල මෙහෙයුමකින් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.

බුලත්සිංහල - හොරණ පාරේ පහළ නාරගල ප්‍රදේශයේ දී පසුගිය ජූලි මස 28 පස්වරු 5.30ට පමණ මෙම කොල්ලකෑම සිදුව තිබුණි.

මුදල් රැගෙන ගිය වෑන් රථය වෙළෙඳසැලක් අසළ
නවතා පැමිණි පිරිස අහාර ගනිමින් සිටිය දී ජීප් රථයකින් පැමිණි කොල්ලකරුවන් පිරිසක් ඔවුන්ට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කර මුදල් කොල්ලකා තිබුණි.

වෑන් රථයේ පැමිණි ආරක්ෂක නිලධාරියා කොල්ලකෑම සිදුවන අවස්ථාවේ කොල්ලකරුවන්ට මුදල් ලබාගත හැකි වන ආකාරයට ඔහුගේ ගිනි අවිය බැහැර කර තිබූ බවට අනාවරණය වූ බව පොලීසිය පසුගිය දා පවසා සිටියේය.

කෙසේ වෙතත් සැකකරුවන් සතුව තිබූ ජිප් රථයක් හා මුලදින් රුපියල් එක්කෝටි හැටපන් ලක්ෂ 91,800 ක මුදලක් හා කොල්ලකන ලද මුදල්වලින් සාදන ලද බවට සැකකරන රුපියල් තුන් ලක්ෂ 48,500 ක් වටින රත්‍රං තොගයක් ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී, රුවන් ගුණසේකර මහතා පැවසීය.

පොලිස් කණ්ඩායම් කිහිපයක් එකතු වී මෙම මෙහෙයුම සිදු කර ඇති අතර, කොල්ල කෑමට ආධාර අනුබල දීමේ වරදට සැක පිට වෑන් රථයේ පැමිණි ආරක්ෂක නිලධාරියා කොල්ලකෑම සිදුවු දාම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

කොල්ලකෑම සම්බන්ධයෙන් ආරක්ෂක ආයතනයේ යම් දැනුම් දීමක් තිබුණේ ද යන්න පිළිබඳ වැඩිදුරටත් විමර්ශන සිදුකරන බව පොලීසිය පසුගිය දා පැවසීය.


Previous Post Next Post