රනිල් ජනාධිපති : මෛත්‍රී අගමැති යෝජනාවක් !

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කොට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීම පිළිබඳ යෝජනාවක් මේ වන විට සාකච්ඡාවෙමින් පවතින බව 'අනිද්දා' පුවත්පත වාර්තා කර තිබේ.

එම පුවත්පත සමග අදහස් දක්වා ඇති එජාප ඇමතිවරයෙක් එම කාරණය අනාවරණය කර තිබේ.

එසේ වුවහොත් ජනාධිපතිවරණය කලින් කැඳවිය
නොහැකි බවද පළාත් සභා මැතිවරණය ක්ෂණිකව කැඳවා ශ්‍රීලනිපය සහ එජාප එක්ව එම මැතිවරණයට තරඟ කළ යුතු බවද එම ඇමතිවරයා පවසයි.

රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේන දෙපාර්ශවය මැතිවරණය පිළිබඳ එකඟතාවයකට ගෙන ඒම සඳහා සාකච්ඡා පවත්වන ආණ්ඩුවේ තවත් ප්‍රබල ඇමතිවරයකු 'අනිද්දා' සමග ප්‍රකාශ කර ඇත්තේ,  රනිල් වික්‍රමසිංහ මහතා තමන් මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු බවට හා ඉන් තමන්ට ජයග්‍රහණය කළ හැකි බවට දැඩි විශ්වාසයෙන් කටයුතු කරන බවය.

ශ්‍රීලනිපයේ මතය !

'අනිද්දා' සමග නිර්ණාමිකව අදහස් දක්වා ඇති ශ්‍රීලනිපයේ ප්‍රබල ඇමතිවරයෙකු ප්‍රකාශ කර ඇත්තේ, ඉදිරි ජනාධිපතිවරණයේදී තනිව තරඟ කිරීමේ හැකියාවක් නොමැති නිසා මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ ශ්‍රීලනිප නායකයන් ඉදිරි මැතිවරණවලදී තවත් පක්ෂයක් සමග හවුලේ තරඟ කිරීමට කැමැත්තෙන් සිටින බවයි.

මේ වෙද්දි මහින්ද රාජපක්ෂ මහතා සමග එකතුවීමේ හැකියාවක් මෛත්‍රීපාල සිරිසේන පාර්ශවයට නොමැති නිසා එජාපය සමග එකට තරඟ කිරීම අවසාන විකල්පය ලෙස තෝරාගෙන තිබෙන බව එම ඇමතිවරයා සඳහන් කර තිබේ.

ශ්‍රීලනිපය පාර්ශවයෙන් ජනාධිපතිවරණය කලින් පැවැතිවීමට යෝජනා කර ඇති බව එම ඇමතිවරයා කියා සිටියි.

එජාපයේ සහයක අවිස්වාසය !

එහෙත් ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණය කලින් පවත්වන්නේ නම් ධූරයේ සිටින ජනාධිපතිවරයා අනිවාර්යයෙන්ම දෙවැනි ධූර කාලයක් සඳහා ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු බව ද ඔහු පෙන්වා දී ඇත.

එය බාධාවක් වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ සහයෝගය මෛත්‍රීපාල සිරිසේන මහතාට තවත් ජනාධිපතිවරණයකදී ලබාගත නොහැකි වේ යැයි එජාප නායකයන් විසින් පෙන්වාදිම බව එම ඇමතිවරයා කීය.

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ ගැටළු නිරාකරණය නොකිරීමට හේතුව ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් එජාපයත් නිලනිපයත් කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබදව පක්ෂ දෙක අතර මෙතෙක් පැහැදිළි එකඟතාවයකට පැමිණීමට නොහැකි වීමට නිසා බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් කවුද යන්න පිළිබදව පක්ෂ දෙකට එකඟතාවකට නොහැකි වීම මේ සඳහා  ප්‍රබලම හේතුව වී ඇත.

(අනිද්දා)


Previous Post Next Post