මිල අධික පිළිකා ඖෂධ ඇතුලු තවත් ඖෂධ රැසක මිල අඩු කරයි

මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ ඖෂධ ප්‍රතිපත්තියට අනුව තවත් අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 25 ක මිල අඩු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

ඒ අනුව ජිවිත ආරක්ෂක ප්‍රතිජීවක, දියවැඩියා ඖෂධ හා උපකරණ, පුරස්ථී ග්‍රන්ථි රෝග ඖෂධ, ඇදුම හා ශ්වසන අපහසුතා සදහා භාවිත
කරන ඖෂධ, වේදනා නාශක, ස්නායු ගත රෝග සහ මිල අධික පිළිකා ඖෂධ වර්ග 10 ක මිල මෙලෙස අඩු කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ ආනයනය කිරීමට වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 900 ක් වැය වේ. ශ්‍රී ලංකාවේ සාර්ව රාජ්‍ය අනුග්‍රහය සහිත නොමිලේ සේවාවන් පිරිනමනු ලබන සෞඛ්‍ය සේවා පද්ධතියක් ඇති නමුත් රෝගී ජනතාවගෙන් පිරිසක් පෞද්ගලික අංශය වෙතින් බාහිර රෝගී ප්‍රතිකාර ලබා ගනී. රෝග වලින් බොහෝමයක් දිගු කාලීන ප්‍රතිකාර අවශ්‍ය වන නිදන්ගත රෝගී තත්ත්වයන් වන අතර, බෝනොවන රෝග වල වැඩිවිමත් සමග මෙම මුල්‍යමය පීඩාව පවා වැඩි වී ඇත.

දුප්පතුන්ට හිතවාදී සෞඛ්‍ය සේවාවක් ක්‍රියාත්මක කිරීමේ සංකල්පය යටතේ ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතට අනුව ප්‍රතිජීවක, වේදනා නාශක, දියවැඩියාව, අධිරුධිර පීඩනය, හෘද රෝග, ඇතුලු රෝග රැසක් සදහා භාවිත කරන අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල 2016 වසරේ දී අඩු කරන ලදි. ඒ අනුව විවිධ වෙළෙද නාමයන්ගෙන් යුත් ඖෂධ 272 ක මිල අඩු වී ඇත.

මෙම මිල අඩු කිරිමට ප්‍රථම සැළකිය යුතු රෝගීන් සංඛ්‍යාවක් ඖෂධ වල ඉහළ මිල ගණන් නිසා වෛද්‍යවරුන් විසින් නියම කරනු ලබන ඖෂධ මිල දී නොගන්නා බව හෙළී වී තිබුනි. ජීවිතාන්තය දක්වාම ප්‍රතිකාර අවශ්‍ය වන දියවැඩියාව, අධිරුධිර පීඩනය වැනි නිදන්ගත රෝග සදහා මෙම ඖෂධ භාවිත කිරීම අත්‍යාවශ්‍ය වී තිබුනි. කෙසේ වෙතත් ඖෂධ මිල අඩු කිරීමත් සමග රෝගීන් විශාල සංඛ්‍යාවක් වෛද්‍යවරුන් නියම කරන ඖෂධ භාවිත කිරීමට පෙළඹුනු බව වාර්තාවේ.

තත්ත්වයෙන් උසස් වෙළෙද නාමයන්ගෙන් යුත් ඖෂධ මිල පාලනය කිරීම නිසා සියයට 600 ක ප්‍රතිශතයක් දක්වා අලෙවිය වැඩිවීමත් සමග මෙම ගුණාත්මක ඖෂධවල අලෙවිය වැඩි වී තිබේ. 2016 ඔක්තෝබර් මස දී ක්‍රියාත්මක කරන ලද ඖෂධ මිල නියාමනය කිරීමේ බලපෑමෙහි ප්‍රතිඵල වශයෙන් රෝගීන් ඔවුන්ගේ වෛද්‍ය නිර්දේශයන් වෙත වැඩි අනුකූලතාවයක් දැක්වීමටත් මෙතෙක් වැඩි බහුතර පිරිසකට මිල දී ගත නොහැකි වූ ගුණාත්මකබවින් යුතු ඖෂධ මිල දී ගැනීමක් දක්නට ඇත.

2016 වසරේ ඔක්තොම්බර් මස ඖෂධ මිල අඩු කිරීම තුලින් ඖෂධ මිල දී ගැනීමට වැය වූ මුදලින් රෝගීන් වෙත ලැබුනු සමස්ත ඉතිරිය ආසන්න වශයෙන් රුපියල් බිලියන 4.4 ක් වන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඇස්තමේන්තු කර ඇත.




Previous Post Next Post