මන්ත්‍රී, ඇමති වැටුප දෙගුණයකින් ඉහළට….

මේ මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ අමාත්‍යවරුන්ගේ වැටුප දෙගුණයකින් වැඩි කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වනවා.

දැනට මන්ත‍්‍රීවරයෙකුට හිමිවන මූලික වැටුප රුපියල් 54,285ක් වන අතර නව තීරණයට අනුව එය රුපියල් එක් ලක්ෂ 20,000
දක්වා වැඩිවීමට නියමිතයි.

නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට රුපියල් 63,500ක වැටුපක් මේ වනවිට හිමි වනවා. එය රුපියල් එක් ලක්ෂ 35,000 දක්වා වැඩි කිරීමට තීරණය කර ඇත.

ඇමතිවරයෙකුට සහ රාජ්‍ය ඇමතිවරයෙකුට දැනට හිමි වන වැටුප රුපියල් 65,000ක්. එය වැඩි වන්නේ රුපියල් එක් ලක්ෂ 40,000 දක්වායි.

මීට අමතරව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුට රුපියල් ලක්ෂයක කාර්යාල දීමනාවක් ද හිමිවනවා. එක් මන්ත‍්‍රීවරයෙකුට හිමිවන දුරකතන දීමනාව රුපියල් 50,000ක්. රුපියල් 10,000ක ප‍්‍රවාහන දීමනාවක් ද ඔවුන්ට හිමියි. අවමය රුපියල් 30,000ක් වන, දුර ප‍්‍රමාණය අනුව වෙනස් වන ඉන්ධන දීමනාවක් ද එක් මන්ත‍්‍රීවරයෙකුට හිමි වනවා.

මීට අමතරව නියෝජ්‍ය, රාජ්‍ය සහ කැබිනට් අමාත්‍යවරුන්ට ඔවුන්ගේ අමාත්‍යංශයෙන් දුරකතන පහසුකම් සඳහා ද වෙනම ගෙවීම් කරන බවයි වාර්තා වන්නේ. කොළඹ සිටින නියෝජ්‍ය, රාජ්‍ය සහ කැබිනට් අමාත්‍යවරයෙකුට අමාත්‍යංශය මගින් අවමය ඉන්ධන ලීටර් 600ක් ද ලබා දෙනවා. කොළඹින් බැහැරව සිටින අයෙකුට හිමිවන ඉන්ධන ප‍්‍රමාණය ලීටර් 700ක්.

මෙලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ වැටුප් වැඩි කිරීමට තීරණය කර ඇත්තේ 2006 වසරේදී පාර්ලිමේන්තුවේදී ගත් තීරණයකට අනුවයි. එහිදී එකඟතාවකට පැමිණ ඇත්තේ අධිකරණ සේවයේ වැටුප් වැඩි වනවිට මන්ත‍්‍රීවරුන්ගේ ද වැටුප් වැඩි කළ යුතු බවටයි. ඉකුත් ජනවාරී මාසයේදී අධිකරණ සේවයේ වැටුප් වැඩි වී ඇති බවද පැවසෙනවා. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ ද වැටුප අගෝස්තු මාසයේ සිට වැඩි කිරීමට පක්ෂ නායක රැස්වීමකදී තීරණයකට එළඹ ඇත.

කෙසේ වෙතත් 2006 වසරේ සිට මේ දක්වා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ වැටුප් වැඩි වී නොමැති බවද වාර්තා වනවා.


Previous Post Next Post