දිනේෂ්ට විපක්ෂ නායකකම නොලැබෙන ලකුණු !

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධනට දෙන ලෙස කර ඇති ඉල්ලීම ප්‍රතික්ෂේප වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොටසක් ආණ්ඩු පක්ෂයේද සිටීම මෙයට හේතුවක් වී ඇති බවත් දැනගන්නට තිබේ.

ඒකාබද්ධ විපක්ෂයට විපක්ෂ නායක ධුරය දෙන ලෙස කර ඇති ඉල්ලීම
සම්බන්ධයෙන් කථානායක කරු ජයසූරිය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ‍ලේකම් මහින්ද අමරවීරගේ මතය විමසා ඇති අතර ඒ ඔහුගේ මතය අද  (06) කථානායකවරයාට ලබාදීමට නියමිතය.

ඒ අනුව කථානායක කරු ජයසූරිය විසින් මේ පිළිබඳව සිය ස්ථාවරය 07 වැනිදා සභාවට දැනුම් දෙනු ඇත.

ඒකාබද්ධ විපක්ෂයේ තීරණය ?

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ අගමැති ධුරය පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනාගන්නා පක්ෂයට හිමි වන අතර බහුතරය නැති අවස්ථාවල සුළු පක්ෂයන්හි සහාය ලබා ගැනීම සිදුවේ.

විපක්ෂ නායක ධුරය ඊළඟට වැඩිම මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් හිමි පක්ෂයට ලැබෙන අතර මෙම පාර්ලිමේන්තුවේ දෙවෙනියට වැඩිම මන්ත්‍රී සංඛ්‍යාවක් හිමි එක්සත් ජනතා නිදහස් සන්ධානය ද ආණ්ඩු පක්ෂය සමග එකතු වී සිටියි.

එම නිසා තුන්වෙනියට වැඩිම ආසන සංඛ්‍යාවක් දිනා ගත් පක්ෂය වන දෙමළ ජාතික සන්ධානයට විපක්ෂ නායක ධුරය හිමිව තිබේ.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කළ බැවින් කථානායකවරයා එහි මහ ‍ලේකම් වරයාගෙන් මේ පිළිබඳ මතය විමසා ඇත.

කථානායකවරයා සිය ඉල්ලීම ප්‍රතික්ෂේප කළහොත් ඊට එරෙහිව පියවර ගැනීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ.

(ලක්බිම)

Previous Post Next Post