දිගන දී මියගිය මනුදම දංකොටුවේදී යළි උපන් හැටි !

බෞද්ධ භික්ෂූන් වහන්සේලා හා සර්ව ආගමික නායකයන් ඇතුළුව 3000 ට ආසන්න ජනතාවක් සහභාගී වූ මෙම කලා උළෙල තුල විවිධ ආගමික හා ජාතිකත්ව අංග රැසක් ඇතුළත්වීම විශේෂත්වයක් විය. මෙරට කලා ක්ෂේත්‍රයට අමිල සේවයක් කළ
අල්හාජ් මොහිදීන් බෙග් ශුරීන්ගේ ජන්ම ශත සංවත්සරය ප්‍රධාන තේමා කොට එම කලාශිල්පියා‍ත්, කලම්බු හෙට්ටි ජාතිකත්වයට අයත් රුක්මණි දේවියත් මැලේ ජාතිකයෙකු වූ හරූන් කුමාර් ලන්ත්‍රාවත් දමිල ජාතිකයෙකු වූ ඒ.එම්. රාජා

හා එම සියළු දෙනාහට ගී රචනාවෙන් එක් වූ සිංහලයෙකු වූ කරුණාරත්න අබේසේකරයන් විසින් හෙළ ගී කෙත හා සිනමා කලාව අස්වැද්දීම වෙනුවෙන් කළ සාමුහික සේවය ඇගයීමට මෙහි මූලික අරමුණ විය. මෙම ප්‍රසංගය සිංහලෙන් ආමන්ත්‍රණය කිරීම නිලාර් එන් කාසිම් සිදු කිරීමත් දමිල හා ඉංග්‍රීසි බසින් ප්‍රසංගය මෙහෙයවිම සිංහල, දමිල දරුවන්  විසින් වීමත් ප්‍රසංගයේ ප්‍රතිගායනා කළ සියළුම ගිත ජාතිකත්ව තුනක සම්මිශ්‍රණයක් සහිතවීමට කටයුතු කර තිබුනි.

ප්‍රසංග භූමිය ඉදිරිපස තණන ලද පිළිගැනිමේ තොරණ මැටිකොටුව සිරි සුදස්සනාරාම බොදු තරුණ සංගමය මගින් සිංහල හා දමිල භාෂාවන්ගෙන් සැකසීමත් සර්ව ආගමික නායකයන් හා ආරාධිත අමුත්තන් ප්‍රධාන පීඨයට කැටුව ඒම සදහා මගුල් බෙර කණ්ඩායම ජාතිකත්ව තුනෙහිම සංස්කෘතික අංග වලින් සහිතවීමත් ප්‍රධාන ශාලාව තුල දල්වන ලද පහන සියළු ජාතිකත්ව වල එකමුතුව විදහාපාන ලෙස සැකසිම දංකොටුව සංස්කෘතික මධ්‍යස්ථානය භාර ශ්‍රීනි ආදිහෙට්ටි මිය විසින් සිදු කිරීම විශේෂිත විය. එමෙන්ම ඒ.ඇම්. රාජා ගයන ලද දමිල ගිත වලට අදාල නර්තන ගෝනුල්ල නිලන්ත රංගායතනයේ සිංහල දරුවන් විසින් සිදු කිරීම කාගෙත් සිත් පැහැර ගැනීමක් විය.
ඊට අමතරව මෑතකදී මහනුවර, දිගන ප්‍රදේශය ආශ්‍රිතව ඇති වූ මුස්ලිම්-සිංහල ජාතිවාදී ස්වරූපයෙන් ඇති වූ ගැටුම්කාරී තත්වය තුල අවාසනාවන්ත ලෙස මිය ගිය සිංහල ජාතික පුද්ගලයාගේ හා මුස්ලිම් තරුණයාගේ පවුල් වන ඥාතින් ආරාධිතව ගෙන්වා අසරණ වූ සිංහල ජාතිකයාගේ පවුලේ උදවියට මුස්ලිම් ව්‍යාපාරිකයෙකු විසින් ද මිය ගිය මුස්ලිම් ජාතික තරුණයාගේ පවුල වෙත සිංහල ව්‍යාපාරිකයෙකු විසින් මුදල් පරිත්‍යාග කිරීම එදින සිදු විය. මේ සදහා මැටිකොටුව සිරි සුදස්සනාරාමාධිපති ගරු අඹන්වැල්ලේ සිරිසමිද්ධි හිමි ප්‍රමුඛව සංගමයේ සාමාජිකයන් අතින් සිදු කිරීම ඒ අවස්ථාවට එක්ව සිටි දහස් ගණනක් වූ ප්‍රේක්ෂක ජනතාවට කදුලක් එක් කිරිමට සමත් වූ සංවේදී මානුෂිකවාදී මොහොතත් විය. අදාළ පවුල් දෙකෙහිම සාමාජිකයන් සියළු දෙනා එකම වාහනයක මහනුවර සිට මෙම උත්සවයට සහභාගීගිවිම සාමාන්‍ය ජනතාව අතර ජනවාර්ගික එකමුතුබවේ අපූර්වත්වය මනාව රටට කියාපන්නක් විය.

තවද මෑකතදී මිහින්තලේ විහාරස්ථානාධිපති හිමිපාණන්හට විදේශීය දානපතියෙකුගෙන් පරිත්‍යාගයක් ලෙස ලැබූ බුදුම පිළිම වහන්සේලා මෙරටට ගෙන් වූ අවස්ථාවේ රේගු ගාස්තු ලෙස රු. ලක්ෂ 33 ක් ගෙවීමට සිදු වූ අවස්ථාවේ ඒ පිළිබදව මාධ්‍ය මගින් දැනගැනීමට ලැබී සංවේදී වූ කතෝලික ව්‍යාපාරියෙකු වූ ජස්ටින් ගජසිංහ මහතාගේ ඉදිරිපත්වීම මගින් ප්‍රකට කළ ආගමික සංහිදියාව රටටක දන්වමින් ඒ මහතා කළ කැපකිරීම අගය කරමින් සමස්ත බොදු ජනතාව වෙනුවෙන්ම ඒ මහතාට තිළිණ ප්‍රදානය කිරීමට සරසවි කලා සංගමය ක්‍රියා කිරීම විශේෂත්වයක් ගත් කරුණක් විය.

ප්‍රසංගය පැවැත්වු පුත්තලම් දිස්ත්‍රික්කය තුල ජීවත්වන ශ්‍රී ලංකාවේ ගෞරවාන්විත ජනකොටසක් ලෙස සිලෝන් අප්‍රිකානු ජන වර්ගයට අයත් නියෝජිතයන් පිරිසක් සහභාගී කරවිමත් ප්‍රදේශයේ අති කතෝලික හා බෞද්ධ වැඩිහිටි නිවාස දෙකක නේවාසික වැඩිහිටියන් විශේෂ ආරාධිතයන් ලෙස සහභාගී කර ගැනීම ද ආගමික සුහදත්වයේ තවත් පැතිකඩ විවර කිරීමක් ම විය.

කරුණාරත්න අ‍බේසේකරයන් වෙනුවෙන් ඉරානි අබේසේකර මහත්මියත් හරූන් කුමාර් ලන්ත්‍රා වෙනුවෙන් අතාරින් ලන්ත්‍රා මහත්මිය ජනතා සම්මානයට පාත්‍රවීම මෙහිදී සිදු විය.
Previous Post Next Post