ඇමතිවරු කඩේ යැවූ අපි නොදත් ලේකම්

ජනාධිපති අතිරේක ලේකම්වරයකු ලෙස පෙනී සිටිමින් මැති ඇමැතිවරුන්, රජයේ නිලධාරීන් සහ විවිධ පුද්ගලයන් රවටා විවිධ වරප්‍රසාද සහ රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් වංචා කළ පුද්ගලයකු ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකය මගින් පසුගියදා අත්අඩංගුවට ගෙන ඇත.

අර්ජුන රණතුංග මහතා වරාය ඇමැතිවරයා ලෙස කටයුතු කළ කාලයේ තමන් ජනාධිපති අතිරේක
ලේකම්වරයකු බව පවසමින් වරාය අධිකාරියේ ඔහුටම රැකියාවක්‌ ලබාගෙන ඇත.

මාස කිහිපයක්‌ තිස්‌සේ සම්මුඛ පරීක්‍ෂණවලට ඉදිරිපත් වූ සැකකරු ලබන 22 වැනිදා වරාය අධිකාරියේ රැකියා පත්වීම ලබා ගැනීමට නියමිතව සිටි බවත් හෙළිවී ඇත.

මොහු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාටද දුරකථනයෙන් කතා කර තමා ජනාධිපති අතිරේක ලේකම්වරයකු බව පවසා හපුතලේ ප්‍රදේශයේ රෝහලකට බෙහෙත් තොගයක්‌ද ලබාගෙන ඇති බව අනාවරණය වී තිබේ.

ජනාධිපති ලේකම්වරයා විසින් පොලිස්‌පතිවරයා වෙත කරනු ලැබූ පැමිණිල්ලකට අනුව ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකය සිදුකළ විමර්ශනවලදී මෙම සැකකරු කොටුවී ඇත්තේ ඇහැළියගොඩ, පනාවල ප්‍රදේශයේ සැඟව සිටියදීය. සැකකරු එම ප්‍රදේශයේ ජීවත් වී ඇත්තේ ද තමන් විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් මහතාගේ ආරක්‍ෂක නිලධාරියා බව කියමිනි.

සැකකරු කලක්‌ යුද හමුදාවේ සේවය කර ඉන් ඉවත් වූ අයෙකි. මොහුට එරෙහිව මීට ඉහතදී ද ස්‌ත්‍රී දූෂණ සහ මුදල් වංචා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබූ බවද හෙළිවී ඇත.

වරාය අධිකාරියේ, ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාවේ සහ කොරියාවේ රැකියා ලබාදෙන බව කියමින් මොහු විවිධ පුද්ගලයන්ගෙන් රුපියල් දොළොස්‌ ලක්‍ෂයකට අධික මුදලක්‌ ලබාගෙන ඇති බවද පොලිසිය පවසයි.

මොහුගේ වංචාවන්ට හසුවූ විවිධ පුද්ගලයන් ජනාධිපති ලේකම් කාර්යාලයට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන සිදු කෙරිණි.

Previous Post Next Post