මුල්ලිවයික්කාල් සමරා එන රථ පෙලපාලියට හමුදාවෙන් සිසිල් බීම දන්සලක්..

යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහි කිරීම පිණිස වෙල්ලමුල්ලිවයික්කාල් බලා ගමන් කළ ජනතාව වෙනුවෙන්, වර්ෂාව මධ්‍යයේ, සිසිල් බීම සංග්‍රහයක් ලබාදීමට මුලතිව් පුදුකුඩිඉරිප්පු හි යුද හමුදා නිලධාරීන් කටයුතු කර තිබිණ.

වෙල්ලමුල්ලිවයික්කාල් සැමරුම වෙනුවෙන් යාපනය විශ්ව විද්‍යාල සිසුන්
වෙල්ලමුල්ලිවයික්කාල් දක්වා රිය පෙරහැරකින් පැමිණි අතර, ප්‍රදේශවාසීන් විශාල පිරිසක් ද සහභාගි වූහ.

පුදුකුඩිඉරිප්පු ප්‍රදේ‍ශයේ 682 සේනාංකයේ යුද හමුදා නිලධාරීන් විසින් බීම සංග්‍රහය සංවිධාන කරනු ලැබ තිබිණි.

මියගිය ජනතාව සිහි කිරීමේ උත්සවය අමතා අදහස් දැක්වූ උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සීවී විග්නේශ්වරන්, යුද්ධයෙන් මියගිය ජනතාව වෙනුවෙන් සාධාරණය ඉටු විය යුතු අතර, යුද අපරාධ සම්බන්ධයෙන් රජය සාධාරණ පරීක්ෂණ පැවැත්විය යුතු බව ද කියා සිටියේය.

වැඩසටහනට එක්වු උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම්කේ ශිවාජිලිංගම් පැවසුවේ යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාවගේ ආත්මයට ශාන්තිය පතා සැමරුම් උත්සවය සංවිධානය කළ බවය.

මුල්ලිවයික්කාල් සැමරුම් උත්සවයට සමගාමීව යාපනය විශ්ව විද්‍යාල සිසුන්ද යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහිකරමින් යාපනය විශ්ව විද්‍යාලය තුළ සැමරුම් උත්සවයක් සංවිධානය කොට තිබිණ.

– BBC

Previous Post Next Post