මහනුවර ගැටුමට සම්බන්ධ මන්ත්‍රීන් දෙදෙනා දොට්‌ට !

මහනුවර දිස්‌ත්‍රික්‌කයේ ඇතිවූ ජාතිවාදී ගැටුම්වලට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති ඒකාබද්ධ විපක්‌ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ මන්ත්‍රීන් දෙදෙනාගේ පක්‌ෂ සාමාජිකත්වය තහනම් කිරිමේ යෝජනාවක්‌ ඉදිරි ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කිරීමට නියමිත බව "දිවයින" පුවත්පත වාර්තා කරයි.

සිංහල, දෙමළ, මුස්‌ලිම් සියලුම ජාතීන් නියෝජනය කරන ජාතික
දේaශපාලන පක්‍ෂයක්‌ වන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට ජාතිවාදී ලේබලය ඇලවීමට කිසිවකුට ඉඩදිය නොහැකි බවද එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගේ ස්ථාවරය වී ඇත.

පොලිස්‌ පරීක්‍ෂණවලින් එම මන්ත්‍රීවරුන් දෙදෙනා වැරැදිකරුවන් බව ඔප්පු වුවහොත් ඔවුන්ට දැඩි දඬුවම් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් පිරිසක් ජනාධිපතිවරයා ගෙන් ඉල්ලීමක් කර තිබේ.

මහනුවර ප්‍රචණ්ඩ ක්‍රියාවලට එම දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සම්බන්ධ බව කැබිනට් ප්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා අවධාරණය කර සිටියි. ඔහු එබව සඳහන් කලේ පසුගිය බදාදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

මහනුවර ප්‍රහාර සංවිධානාත්මකව සිදුකරන ලද්දක් - අගමැති 

මහනුවර ප්‍රදේශයේ පසුගියදා හටගත් ජාතිවාදී ප්‍රහාර සංවිධානාත්මකව සිදු කරන ලද්දක් යයි බොහෝ දෙනාගේ මතය වී තිබෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එබැවින් එම ප්‍රහාර පිළිබඳ පූර්ණ පරීක්‍ෂණයක් පවත්වා වැරැදිකරුවන්ට තරා තිරම නොබලා දඬුවම් ලබාදිය යුතු බව ද අගමැතිවරයා සඳහන් කළේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල මුස්ලිම් ජනතාවට එරෙහිව එල්ල වූ ආගමික ප්‍රහාරවලින් සිදුවූ අලාභහානි පිළිබඳව සොයාබැලීමට දිගන, කෙන්ගල්ල සහ අකුරන යන ප්‍රදේශවල සංචාරය කිරීමෙන් අනතුරුව මහනුවර දිස්ත්‍රික් මහලේකම් කාර්යාලයේදී පොලීසිය, ත්‍රිවිධ හමුදාව හා රාජ්‍ය සේවකයින් සමග පැවැති විශේෂ සාකච්ඡාවකදීය.

ජනාධිපතිගෙන් කමිටුවක් :

මෙවැනි චෝදනා සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, මහනුවර ප්‍රදේශයේ පැතිර ගිය ආගමික පදනමකින් යුත් ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම පිණිස විශ්‍රාමික විනිශ්චයකාරවරුන් තිදෙනෙකුගෙන් සමන්විත ජනාධිපති පරීක්ෂණ කොමිසමක් පත් කිරීමට තීරණය කර ඇත.

ප්‍රචණ්ඩ ක්‍රියාවලට තුඩු දුන්නේ කවර හේතූන් ද, දේපළවලට සිදු වූ හානිය සහ ප්‍රචණ්ඩ ක්‍රියා පිටුපස කිසියම් කුමන්ත්‍රණයක් පවතින්නේ දැයි යන්න මෙන්ම යළිත් වරක් මෙවැනි ගැටුමක් ඇතිවීම වළක්වන්නේ කෙසේ දැයි යන්න ද කොමිෂන් සභාව විසින් විමසා බලනු ඇති බවත් ඒ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.




Previous Post Next Post