"මාව ලංකාවට ගෙන්වා ගන්න" - ලෙබනනයේ රැකියාවට ගිය මාලනිගේ දෙපා කපා දැමීමට නියම කරලා

ගෘහ සේවිකාවක් ලෙස ලෙබනනයේ රැකියාවකට ගොස් සිටින මා දැනට දෙපාවල රෝගයක් වැලඳීමෙන් මිතුරියන් දෙදෙනකුගේ නවාතැන්පළක එක්තැන්වී සිටින අතර මෙහි රෝහල්වල වෛද්‍යවරුන් මගේ කකුල් දෙකම කපා ඉවත් කළ යුතු යැයි තීරණයක් කර තිබෙන නිසා මා ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන්න. මේ ආයාචනය කරනු ලබන්නේ, ලෙබනනයේ ගෘහ සේවිකාවක් ලෙස ගොස් දැනට
රෝගාතුරව එක්තැන්ව සිටින පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රය ජනපදයේ පදිංචිව සිටි මාලනි කුසුමලතා (32) නමැති එක්දරු මවකි. මේ සම්බන්ධයෙන් 'මව්බිම'ට අදහස් දැක්වූ මාලනි කුසුමලතාගේ සොහොයුරකු වන ඩබ්ලිව්.පී. නලින් මෙසේද කීය.

මගේ අක්කා 2007 වසරේදී ලෙබනනයේ රැකියාවක් සඳහා ගියා. අප පවුලේ අයට ජීවත් වීමට හරිහැටි ආදායමක් නොමැතිකම නිසයි අක්කා විදේශ ගත වුණේ.

මීට සතියකට කලින් අක්කා දුරකතනයෙන් මට කතා කළා. ඇය අන්තිම වරට රැකියාව කළේ රෝහලක පිරිසුදුකරන්නියක ලෙසටයි.

මෙසේ රැකියාව කරන විට මීට මාස හයකට පෙරදී දෙපාවලට රෝගයක් වැලඳීමෙන් මිතුරියන් දෙදෙනකුගේ කාමරයකට වී සිටින බව කීවා.

මේ වන විට කකුල් ඉදිමීම නිසා ඇවිද ගන්න බැරි බවත්, විසබීජයක් ශරීරගතවීමෙන් මෙම රෝගය වැලඳී ඇති බව වෛද්‍යවරුන් ප්‍රකාශ කළ බවත් කකුල් දෙක කපා ඉවත් කළ යුතු බව එම වෛද්‍යවරු ප්‍රකාශ කොට තිබෙන බවත් ඇය කීවා.

එම රෝහල්වල ප්‍රතිකාර සඳහා මුදල් අය කරන නිසා මම දැන් අසරණවී සිටින හෙයින් ලංකාවට ඉක්මනින් ගෙන්වා ගන්නා ලෙස අක්කා කියා සිටියා. අක්කාගේ එරට දුරකතන අංකය 096176391013. මගේ අක්කා ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරදෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා.

තමන්කඩුව - ගාමිණි ඔබේසේකර


Previous Post Next Post