පුංචි ඡන්දෙන් තේරුණ සභික සංඛ්‍යාවේ නාම ලේඛනය මේ මාසය තුළ ගැසට් කරයි

පළාත් පාලන ආයතන සඳහා තේරී පත්වූ සභික සංඛ්‍යාව ඇතුළත් නාමලේඛනය ගැසට් කිරීම මෙම මස අවසන් වීමට පෙර සිදුකිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසම පවසයි.

පසුගියදා පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප‍්‍රතිඵලවලට අනුව
ඒ ඒ පළාත් පාලන ආයතන සඳහා තේරී පත් වූ සභිකයින්ගේ නාමලේඛනය මැතිවරණ කොමිසම විසින් ගැසට් කළ යුතුයි.

ඒ සඳහා අවශ්‍ය සභිකයින් පිළිබඳව තොරතුරු දේශපාලන පක්ෂ විසින් ලබාදීමෙන් අනතුරුව එය ගැසට් කිරීමට පියවර ගන්නා බව මැතිවරණ කොමිසම සඳහන් කළේය.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප‍්‍රතිඵලවලට අනුව සමානුපාතික ක‍්‍රමය යටතේ තේරී පත් වන සභිකයින් සංඛ්‍යාව පිළිබඳව ඉදිරි දින කිහිපය තුළ ඒ ඒ දේශපාලන පක්ෂ වෙත දැනුම්දීමට නියමිතයි.

සියයට 40ක ප‍්‍රමාණයක් සමානුපාතික ක‍්‍රමය යටතේ පළාත් පාලන ආයතනවලට තේරී පත්වන අතර සමස්ත සභිකයින්ගෙන් සියයට 25ක කාන්තා නියෝජනයක් තිබීම අනිවාර්ය වෙයි.

ඒ අනුව පළාත් පාලන ආයතන සඳහා තේරී පත් වන සභිකයින් පිළිබඳ තොරතුරු නිල වශයෙන් පක්ෂ වෙත ඉදිරි දින කිහිපය තුළ දැනුම්දීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසම සඳහන් කළේය.

එම දැනුම්දීමෙන් අනතුරුව දේශපාලන පක්ෂ විසින් පළාත් පාලන ආයතන සඳහා සමානුපාතික ක‍්‍රමය යටතේ තේරී පත් වන සභිකයින් පිළිබඳව මැතිවරණ කොමිසම වෙත දැනුම්දීමට නියමිතයි.

මේ අතර පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීම මාර්තු මස 06 වන දින දක්වා කල් දැමීමට සිදුව ඇති බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශය ලේකම් කමල් පද්මසිරි මහතා සඳහන් කළේ පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීම පෙබරවාරි මස 15 වන දින සිදුකිරීමට නියමිතව තිබූ බවයි.

පළාත් පාලන ආයතනවල සභික නාමලේඛනය ගැසට් කිරීම ප‍්‍රමාද වීම හේතුවෙන් ඒවා සංස්ථාපනය කිරීමේ කාලය දීර්ඝ කිරීමට සිදුව ඇති බව කමල් පද්මසිරි මහතා සඳහන් කළේය.


Previous Post Next Post