'ජනතා විරෝධය පැහැදිලියි. පොරොන්දු අමතක කළාට කණේ පාරක්' !

2015 ජනවාරි 08 ජනාධිපතිවරණයේදී සහ එම වසරේ අගෝස්තු මාසයේ දී ජනතාව වෙත ලබාදුන් පොරොන්දු නිසි ලෙස ඉටුකිරීමට අසමත්වීම පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුවට මෙවැනි අමිහිරි ප්‍රතිඵලයක්
ලැබීමට ප්‍රධාන හේතුවක් වූ බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු පැවසිය.

එසේම පසුගිය මාස කිහිපයක පටන් එක්සත් ජාතික පක්ෂය ඉලක්ක කරමින් ජනාධිපතිවරයා ගෙන් බරපතල දේශපාලන ප්‍රහාරයක් එල්ලවූ බවත් ඒ හේතුවෙන් තම පක්ෂයේ ජන්ද පදනමට බලපෑමක් වූ බවත් හෙතෙම සඳහන් කරයි.

''ජනාධිපතිවරයා පවා පසුගිය සමයේදී කටයුතු කළ ආකාරය පිළිබඳ කොහෙත්ම සෑහීමකට පත්විය නොහැකියි. එක්සත් ජාතික පක්ෂ නායකත්වය ඊට නිසි ප්‍රතිචාර දැක්වූයේ නම් ප්‍රතිපලය මිට වඩා වෙනස් වීමට බොහෝදුරට ඉඩ තිබුනා'' යයි ඔහු පැවසීය.

තම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළුව පක්ෂයේ නායකයින් හොරු කී විට එහි හානිය සමස්ථ ආණ්ඩුවට බලපාන බවත් කිසිඳු නෛතික වරදක් ඔප්පු නොකර ජනාධිපතිවරයා තම පක්ෂයට සිදුකළ හානිය සුළුපටු නොවන බවද අමාත්‍යවරයා පැවසීය.

UNP කබලේ : SLFP ලිපේ

ජනාධිපතිවරයා අසල සිටි ඇතැම් උපදේශකයන් එක්සත් ජාතික පක්ෂ නායකයා සමඟ ඇති පෞද්ගලික වෛරය ජනාධිපතිවරයා හරහා පිරිමහන්නට කටයුතු කළ බවත් බැඳුම්කර ගනුදෙනුව පදනම් කරගෙන ආණ්ඩුව දුර්වල කිරීමේ සැලැස්මක් පැවති බව තම පක්ෂය හැකි සෑම අවස්ථාවකම පෙන්වාදීමට උත්සාහ කළ බවත් අවසානයේ එක්සත් ජාතික පක්ෂය කබලට වැටෙන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානය ලිපට වැටීමට එම උපදේශකයන් වගකිවයුතු බවද අමාත්‍යවරයා පැවසීය.

කෙසේ වුවත් ඉදිරියේදී බැඳුම්කරය ඇතුළු තම පක්ෂයට එරෙහිව එල්ලවී ඇති චෝදනා අධිකරණය හමුවේ විභාගවීමට සලස්වා නැවත මුලසිට පක්ෂයේ ප්‍රබල ප්‍රතිසංවිධානයක් සිදුවනු ඇති බවත් ඉදිරියේ පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවේදී බරපතල තීන්දු තීරණ කිහිපයක් ගැනීමක් අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.



Previous Post Next Post