Email

ඇමති මණ්ඩලයේ ගණන කීයද? මෙන්න නීතිය

යෝජිත කැබිනට් සංශෝධනය දේශපාලන වේදිකාවේ මේ දිනවල කතාබහට ලක්වන ප‍්‍රධාන මාතෘකාවයි. හෙට (25) පෙරවරුවේ නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙනු ඇතැයි දේශපාලන ආරංචි කියාසිිටිනවා. කෙසේවෙතත් අමාත්‍ය ධුර හිමිවන තැනැත්තන් සහ ඔවුන්ට ලැබෙන විෂයන් පිළිබද තවමත් ඇත්තේ තහවුරු නොකළ තොරතුරු පමණයි. කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් ගණන සහ කැබිනට් නොවන හෝ
රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව පිළිබදවද විවිධ අදහස් පළ වනවා.

ඒ සදහා කිසියම් නීතිමය සීමාවක් තිබේ දැයිද දේශපාලන වේදිකාවේ පළ වන්නේ විවාදාත්මක අදහස්. මේ සම්බන්ධයෙන් නීතිවේදී ආචාර්ය ප‍්‍රතිභා මහානාම හේවාගෙන් විමසීමක් කළා ඔහු පැවසුවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයට අනුව කැබිනට් මණ්ඩලය 30කට සීමා වියයුතු බවයි. එහෙත් ජාතික ආණ්ඩුවක් පිහිටුවන විට එම සංඛ්‍යාව ඉක්මවා යාමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන්ම අවස්ථාවක් සලසා ඇතැයිද ඔහු පෙන්වා දුන්නා.

එක්සත් ජාතික පක්‍ෂය සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රධාන පාර්ශවකරුවා වෙමින් ජාතික ආණ්ඩුවක් සදහා මුල්වරට ගිවිසුමක් ඇතිකර ගත්තේ 2015 වසරේ පැවති මහමැතිවරණයෙන් පසුවයි. වසර දෙකකට ඇති කරගත් එම ගිවිසුම ඉකුත් වසරේදී අවසන් වූ නමුත් පසුව එහි කාලය ඉකුත් වසරේ දෙසැම්බර් 31 වනදා දක්වා දීර්ඝ කෙරුණා. දැන් නැවත එහි කාලය දීර්ඝ කරන්නේ නම් හෝ නව ගිවිසුමක් ඇති කර ගන්නේ නම් එම ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් වියයුතු බවයි විපක්‍ෂයේ නියෝජිතයන් තර්ක කරන්නේ. එහෙත් එවැනි ගිවිසුමක් මේ දක්වා ඉදිරිපත් කර නැහැ.

නීතිවේදී ආචාර්ය ප‍්‍රතිභා මහානාම හේවාගෙන් ඒ සම්බන්ධයෙන් පැවසුවේ ගිවිසුම් ලිඛිතව මෙන්ම වාචිකවද විය හැකි බවය. පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යවරයා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලෙකම්වරයා ජාතික ආණ්ඩුව දිගටම පවත්වාගෙන යන බවට කළ ප්‍රකාශයන් එම ගිවිසුම ලෙස කතානායකවරයා පිළිගන්නවා විය හැකියැයි ඔහු පවසනවා.
gossip lanka