2018 අය වැය අවසන් ඡන්ද විමසීම අද

2018 වසර සඳහා වන අයවැය පිළිබඳ තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදයේ ඡන්ද විමසීම අද පැවැත්වීමට නියමිතයි.
ඡන්ද විමසීම පස්වරු 5ට සිදු කරනු ඇති.

2018 වසර සඳහා වන අයවැය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදය හෙවත් අයවැය තෙවන වර කියවිම ආරම්භ වුණේ පසුගිය 17 වනදායි.
මෙහිදි ඒ ඒ අමාත්‍යාංශ වල වැය ශීර්ෂ පිළිබදව විවාදයට ලක් කෙරුණා.
වත්මන් යහපාලන ආණ්ඩුවේ තෙවන අයවැය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පසුගිය නොවැම්බර් 09 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

අනතුරුව පසු දින සිට නොවැම්බර් 16 වනදා දක්වා අයවැය දෙවනවර කියවීමේ විවාදය පැවැත්වුණ අතර සංශෝධන සහිතව එය වැඩි ඡන්ද    93 කින් සම්මත වුණා.

පක්ෂය ඡන්ද 151ක් ලැබුණු අතර විපක්ෂව හිමිවූයේ ඡන්ද 58ක් පමණයි.
මේ අතර, ඊයේ පස්වරුවේදී හම්බන්තොට වරාය චීන සමාගමකට පැවරීමට අදාළ ගැසට් නිවේදන 2 ක් වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

ඊට පක්ෂව ඡන්ද 72 ක් හිමිවී ඇති අතර විපක්ෂව ලැබී තිබු ඡන්ද සංඛ්‍යාව 7 ක්.
මේ අතර ඊයේ විවාදයට එක්වෙමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර  දිසානායක මහතා සදහන් කලේ ජනතාවට බදු පටවන රජය හම්බන්තොට වරාය  පැවරිමේදි එම විදෙස් සමාගම් බදුවලින් නිදහස් කර ඇති බවයි.

එම චෝදනාවලට පිළිතුරු ලබාදෙමින් වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද  සමරසිංහ මහතා සදහන් කලේ හම්බන්තොට වරාය වැනි සුවිශේෂී  ආයෝජන හරහා රටට යහපතක් මිස අයහපතක් සිදු නොවන බවයි.




Previous Post Next Post