දුම්රිය වර්ජනය අවසන්

දින 06 ක් පුරා පැවති දුම්රිය වර්ජනය අවසන් කිරීමට දුම්රිය වෘත්තිය සමිති තීරණය කර තිබේ.

ආචාර්ය සරත් අමුණුගම අමාත්‍යවරයාගේ  ප්‍රධානත්වයෙන් පත් කෙරුණු අමාත්‍ය  මණ්ඩල අනු කමිටුව සමඟ සිදුකළ සාකච්ඡාවෙන් අනතුරුව දුම්රිය වෘත්තිය සමිති මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.

වැටුප් විෂමතා ගැටලුවක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තිය සමිති
කිහිපයක් පසුගිය 06 වනදා මධ්‍යම රාත්‍රී සිට වර්ජනයක් ආරම්භ කළේය.

ඒ අනුව අවස්ථා කිහිපයකදී බලධාරීන් සමඟ සාකච්ඡා පැවතියද එම සාකච්ඡා අසාර්ථක විය.

ජනාධිපති ලේකම්වරයා සමඟද අවස්ථා දෙකකදී දුම්රිය වෘත්තිය සමිති සාකච්ඡා සිදු කළද එම සාකච්ඡා ද අසාර්ථක වූ පසුබිමක දුම්රිය වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට දුම්රිය වෘත්තිය සමිති තීරණය කළේය.

අධ්‍යයන පොදු සහතික පත්‍ර  සාමාන්‍ය පෙළ විභාගයද ඊයේ(12) දිනයේ ආරම්භ කෙරුණු අතර විභාග අපේක්ෂකයින් පිළිබඳව සැලකිල්ලක් දක්වමින් යළි රාජකාරිය සඳහා පැමිණෙන ලෙසද බලධාරීන් ඉල්ලා සිටියේය.

එහෙත් නිසි විසඳුම් නොලැබීම හේතුවෙන් දුම්රිය වර්ජනය අඛණ්ඩව සිදු කළ අතර ඊයේ දිනයේදී මෙම ගැටලුව පිළිබඳව සොයා බැලීම සඳහා අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය.

අමාත්‍ය  අනු කමිටුව සහ වෘත්තිය සමිති අතර අද උදෑසන 09.00 ට පමණ අදාල සාකච්ඡා ආරම්භ වූ අතර පැය 02 කට අධික කාලයක් මෙම සාකච්ඡාව පැවති බව සඳහන් වෙයි.

එම සාකච්ඡාවේදී දුම්රිය වෘත්තිය සමිතිවලට ලිඛිත විසඳුම් ලැබී ඇති අතර ඒ අනුව ඔවුන් වර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබේ.

මේ අතර දුම්රිය වර්ජනය හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ ජනතාව දැඩි අසීරුතාවකට පත්ව සිටියා.

ජනතාවගේ පහසුව සඳහා ලංකා ගමනාගමන මණ්ඩලය  විසින් අඛණ්ඩ බස් රථ සේවාවන් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබුණි.

කෙසේවෙතත් දුම්රිය වර්ජනය අවසන් කලද අද දිනයේදී දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල විය හැකි බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.

Previous Post Next Post