ලසිත් මාලිංග 20යි 20නුත් ඉවතට

වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඉන්දියාව සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්‌සයි විස්‌ස තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.

ලසිත් මාලිංග පසුගිය කාලයේදී පන්දු යෑවීමෙන් සහ පන්දු රැකීමෙන් දක්‌වන ලද දක්‍ෂතා සෑහීමකට පත්විය නොහැකි වීමෙන් සහ ඔහුගේ
සුපුරුදු තරග ශෛලියට අවතීර්ණ නොවීම යන කරුණු සලකා බලා තවදුරටත් කණ්‌ඩායමේ ස්‌ථානය ලබා නොදීමට ක්‍රිකට්‌ තේරීම් කමිටුව පියවර ගෙන ඇතැයි වැඩිදුරටත් සඳහන් වේ.

ඉන්දියාව සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්‌සයි විස්‌ස තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතය තවමත් ප්‍රකාශ කර නැහැ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්‌සයි විස්‌ස තරග 68 කට ක්‍රීඩා කර ඇති ලසිත් මාලිංග එහිදී බිඳ දමා ඇති කඩුලු සංඛ්‍යාව 90 කි. පන්දු ඕවරයකට දළ ලකුණු 7.36 ක්‌ ලබාදී ඇති අතර කඩුල්ලක්‌ දවා ගැනීමේ සාමාන්‍ය 19.77 කි. කෙසේ වෙතත් මාලිංග ක්‍රීඩා කළ අවසන් විස්‌සයි විස්‌ස තරග දහයේදී කඩුලු 21 ක්‌ දවා ගැනීමට සමත්ව තිබේ. නමුත් ඔහුගේ පන්දු ඕවරයකට දළ ලකුණු අටකට ආසන්න සංඛ්‍යාවක්‌ ප්‍රතිවාදීන් ලබා ගැනීම, පන්දු රැකීම සහ ශාරීරික යෝග්‍යතාව සැලකිල්ලට ගනිමින් විස්‌සයි විස්‌ස සංචිතයේ ස්‌ථානය අහිමිව ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

අයි.පී.එල්. තරගාවලියේදී මුම්බායි කණ්‌ඩායමේ නිත්‍ය සාමාජිකයකු වූ ලසිත් මාලිංගව එළැඹෙන තරගවාරයේ සිට වෙන්දේසියට ඇතුළත් කර තිබේ. ඊට හේතුව වී ඇත්තේ ඔහුගේ වත්මන් දක්‍ෂතා සලකා බැලීම බව අයි.පී.එල්. සංවිධායකන් පැවසීය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන විස්‌සයි විස්‌ස තරගාවලියේ පළමු තරගය ලබන 20 වැනිදා කට්‌ටක්‌ හිදී ආරම්භ වේ.

මේ අතර ජීවන් මෙන්ඩිස් ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතයට කැඳවීමට බොහෝ දුරටත් ඉඩ ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.

Previous Post Next Post