බැඳුම්කර වාර්තාව අද ජනාධිපති අතට !

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ ජනාධිපති කොමිසමේ වාර්තාව අද (28) ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් බාරදීමට නියමිතව ඇතැයි වාර්තාවේ.

බැඳුම්කර කොමිසමේ වාර්තාව ජනාධිපතිවරයා වෙත ලැබුණු පසු
අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමුවිය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාව මේවනවිටත් තීරණය කර තිබේ.

ආන්දෝලනාත්මක බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසමේ වාර්තාව අනුව කිසියම් පුද්ගකයකු හෝ පිරිසක් මෙම මහජන දේපල කොල්ලකෑමට සම්බන්ධ බවට තහවුරු වුනොත් ඔහුගේ පක්ෂය, තනතුර, ජාතිය හා ආගම ආදී කිසිවක් නොසලකා නිත්‍යානුකුලව කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා අවධාරණය කර සිටියේය.

හොරා මම නෙමෙයි :

මේ අතර බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙතින් එල්ලවූ චෝදනා හමුවේ ඇමති තනතුරින් ඉල්ලා අස්වූ රවී කරුණානායක මහතා 26 වෙනිදා මාධ්‍ය වෙත වීඩියෝවක් මුදාහරිමින් ප්‍රකාශකර සිටියේ, බැඳුම්කර වාර්තාව නිකුත්වූ පසු තමාගේ නිර්දෝෂීභාවය තහවුරු වනු ඇති බවයි.

බැඳුම්කර වාර්තාව නිකුත් වූ පසු මෙම සිද්ධියට අදාළව තමාට චෝදනා කල පුද්ගලයින්ගේ රහස් කටයුතු ප්‍රසිද්ධියේ හෙළි කිරීමට කටයුතු කරන බව ද රවී කරුණානායක මහතා එම වීඩියෝව හරහා දැනුම් දී ඇත.

තමා මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළමුත් මහ බැංකුව හෝ රාජ්‍ය බැංකු සිය අමාත්‍යංශය යටතේ පාලනය නොවූ බවත්, එවැනි තත්ත්වයක් මත එම ආයතනවල තීන්දු තීරණවලට තමන් වගකිවයුතු නොමැති බවත් සඳහන් කරමින් රවී කරුණානායක මහතා මිට ඉහතදී වෙබ් අඩවියකට ප්‍රකාශයක් ද ලබාදී තිබිණ.

හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව පෞද්ගලිකව හමුවී බැඳුම්කර සිද්ධියට අදාළව මෙතෙක් හෙළිදරව් නොවූ රහස් තොරතුරු රැසක් අනාවරණය කර ඇතැයි පසුගියදා මාධ්‍ය වාර්තා තිබිණ.

Previous Post Next Post