ලබන සිකුරාදා උතුර අඩපණ කරන්න සංවිධාන 69ක සැළසුමක්

දෙමළ ජාතික සන්ධානයට අනුබද්ධ සංවිධාන ගණනාවක් එක්ව ලබන සිකුරාදා උතුරු පළාතේ හර්තාල් ව්‍යාපාරයක් සංවිධාන කර තිබෙනවා.

ඒ, දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ආණ්ඩුවට බලකරමින්.

සී.වී. විග්නේෂ්වරන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ මහජන සභාව
ඇතුළු දේශපාලන සංවිධාන 19 ක් සහ සිවිල් සංවිධාන 50 කට ආසන්න සංඛ්‍යාවක් එක්ව මෙම හර්තාල් ව්‍යාපාරයට සහාය පළ කර තිබෙනවා.

දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර ශිවශක්ති ආනන්දන් පැවසුවේ දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන බවට ආණ්ඩුව අවස්ථාව ගණනාවකදි පොරොන්දු ලබාදුන්නද මෙතෙක් එම පොරොන්දු ඉටු නොකිරීම කණගාටුවට කරුණක් බවයි.

එම සිරකරුවන් විශාල පිරිසක් නඩු කටයුතු ආරම්භ නොකොට බන්ධනාගාරගත කර සිටීම අනුමත කළ නොහැකි බවද ශිවශක්ති ආනන්දන් මන්තී‍්‍රවරයා පෙන්වා දුන්නා.

අත්අඩංගුවේ සිටින එල්.ටී.ටී.ඊ. සැකකරුවන් තුන් දෙනෙකු සම්බන්ධයෙන් වව්නියාව අධිකරණයේ විභාග වෙමින් පැවති නඩු 3 ක් අනුරාධපුර අධිකරණය වෙත මාරු කිරීම මෙම විරෝධතාව සංවිධාන කිරීමට හේතු වූ ආසන්නතම සිදුවීමක්.

දෙමළ ජාතිකයන්ගේ නඩු දකුණේ අධිකරණවල විභාගයට ගන්නා අවස්ථාවේදී භාෂා පරිවර්තන කි‍්‍රයාවලියේදී දැඩි අසාධාරණයක් සිදුවන බව විරෝධතාකරුවන් පෙන්වා දෙනවා.

ඒ අනුව සිකුරාදා පැවැත්වෙන හර්තාලයට සහාය දැක්වීම සඳහා උතුරේ සියළු වෙළදසැල් වසා දමන ලෙසත් බස් ධාවනයෙන් වළකින ලෙසත් විරෝධතාකරුවන් පවසා සිටිනවා



Previous Post Next Post