ශිරන්තිට තවත් චෝදනාවක් : ත්‍රීවිල් 100ක් අතුරැදහන් !

2004 වසරේ දී සිදු වූ සුනාමි ව්‍යසනයෙන් අනතුරුව ජපන් මූල්‍ය ආධාර යටතේ ධීවර සංස්ථාවට ලබා දුන් ත්‍රීරෝද 100 හම්බන්තොට දිස්ත්‍රික්කයේ දේශපාලන හිතවතුන් වෙත බෙදාදීම සඳහා හිටපු ජනාධිපති මහින් ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය රැගෙන ගොස් ඇති බවත් ඒවාට වෙච්ච දෙයක් නොමැති බවත් 'සත්හඬ' පුවත්පත වාර්තා කරයි.

එම වාර්තාවේ මෙසේද සඳහන් වේ.

2004 වසරේ දී පිහිට වූ පරිවාස රජය සමයේ එවකට ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ජනතා විමුක්ති පෙරමුණේ චන්ද්‍රසේන විජේසිංහ මහතා එම ත්‍රීරෝද 100 බෙදා නොහැර, පරිවාස රජය බිඳ වැටී ඔහු අමාත්‍ය ධුරයෙන් ඉවත් වන තුරුම රඳවා ගෙන සිටි බව ධීවර සංස්ථා අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

අනතුරුව 2005 වසරේ දී පැවැති ජනාධිපතිවරණයෙන් ජනාධිපති ධුරයට පත් මහින්ද රාජපක්ෂ මහතා විසින් ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා ලෙස ෆීලික්ස් පෙරේරා මහතා පත් කළ අතර ඔහු එම ත්‍රීරෝද රථ ධීවර සංස්ථාවේ මාළු බෙදා හැරීම සඳහා යොදා ගැනීමට රුපියල් ලක්ෂ 2කට ආසන්න මුදලක් වැය කොට මාළු කල් තබා ගැනීමේ උපකරණ සහිත අමතර කොටසක් ද සවි කොට තිබේ.

මේ අතරතුර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ හිටපු ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතාගෙන් කරන ලද ලිඛිත ඉල්ලීමක් මත අදාළ ත්‍රීරෝද රථවල සවිකොට තිබූ උපකරණ සහිත කොටස් ඉවත් කොට හම්බන්තොට දිස්ත්‍රික්කයේ දේශපාලන හිතවතුන්ට ලබා දීම සඳහා රැගෙන ගොස් ඇති බව ද වාර්තාවේ.

ධීවර සංස්ථාවට මාළු බෙදා හැරීම සඳහා සකස් කළ ත්‍රීරෝද 100 ශිරන්ති රාජපක්ෂ මහත්මියට ලබා දීම සම්බන්ධයෙන් කළ විමසීමක දී හිටපු ධීවර අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතා ප්‍රකාශ කළේ ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුනාමි ව්‍යවසනයෙන් විනාශයට පත් වූ ත්‍රිරෝද රථ හිමියන්ට බෙදාදීම සඳහා යැයි ලිඛිත ඉල්ලීමක් කර එම ත්‍රීරෝද රථ 100 රැගෙන ගිය බවය.''

- srilankamirror.com
Previous Post Next Post